Sunday, June 21, 2015

නිල් නෑ නරි !



Ofc එකේ අපේ brnch එකේ ඉන්න ඩබලක් ඇසුරෙන් මේ විස්තරේ කියන්න යන්නේ.  මේ ඩබලත් සුපුරුදු පරිදි Ofc එකේ ලොක්කෝ රොත්තේ සාමාජිකයෝ තමයි.  ඉතින් හැම ලොක්කම ලොක්කෙකු වීම සඳහා එක සොක්කෙක් හරි හොයා ගන්න එපැයි.  මෙයාල ඇවිල්ල කළමනාකාර සහකාරවරු කියලා මෑතකදී නම වෙනස් කරපු cleark කට්ටෝ දෙනනෙක්; ඒ කියන්නේ ලිපිකරුවෝ දෙන්නෙක්.  එහෙම අයත් ගොඩක් ඉන්නවා.  ඒ නිසා මේ කියන්න යන්නේ ලිපිකරුවන් මඩ ගහන්න හරි අපහසුවට පත් කරන්න හරි දෙයක් නොවෙයි.  ඒත් මම කියන්න යන කථාවට මේ ඩබල හොඳම models දෙකක්.  ඉතින් එයාල නොදැන නමුත් කරපු මේ උදව්වට tnkz කරලා මම කතාව පටන් ගන්නම් කෝ.මේ ඩබලේ එක ලොකු විශේෂත්වයක් තමයි තමන් දරණ තනතුර ගැන නොසෑහෙන්න උනන්දුවකින්, උත්තේජනයකින් කටයුතු කිරීම.  ඒක ඉතින් හොඳ දෙයක් නේ. ඒත්, මෙතැන ප්‍රශ්නයක් තියෙනවා.  මේ ඩබල ඒ තත්වය ලබාගන්න try කරන්නේ තමන්ට වඩා පහළ ශ්‍රේණිවල ඉන්න මිනිස්සුන්ට පහත් විදියට සැළකීමෙන්.  එයාල පියන්ලට, සුළු සේවකයන්ට පාට් දාන්න හරි කැමැත්තක් දක්වනවා.  ඒක එයාලට අනූව මාර ‍ජොලියක්; මාර fun  එකක්.  තමන් විසින් ම තමන්ට හොඳටම කරගන්න පුළුවන් වැඩ පවා එයාල පියන්ලටම පවරනවා.  එයාලගේම ශ්‍රේණිවල, සමහර විට ඊට වඩා ලොකු තැන්වල උදවියත් ඒවා තනියම කරගන්න උත්සාහ කරගනිද්දී පියන්ල ලවාම ඒවා කරගන්න මෙයාල දඟලන දැඟලිල්ල දැක්කාම පව් කියලත් හිතෙනවා.  වැඩේ බාර දෙන්නෙත් පියන්ට ළඟට අඬගහලා.  ළඟටම ගිහින් දුන්නොත්, තමනුත් පියන්ලගේ ගානටම වැටේවි කියල මේ ඩබලම බයයි.  මේ ෆොටෝකොපි ගහල දෙන්න, මේ file ටික අරන් යන්න, අරක මෙහාට ගේන්න, මේක මෙහාට කරන්න, අරක දෙන්න අරයට, අර form එක ගන්න , වැඩක් කීවම එක පාර කරන්න,...................... !!!
අයියෝ ! ඉතින් මේ ඩබල ම ආපු දවසට කිසිම නිදහසක් නෑ අර මිනිස්සු දෙන්නට.  හැම දේම විධාන ක්‍රියා විතරයි.  මම හැම තිස්සෙම කල්පනා කරන්නේ පියන්ලට වධ දෙන්නේ නැතිව ඒ වගේ පොඩි පොඩි වැඩ ටික තමුන්ම කරගත්තම, තමන්ගේ මොකක්ද එකකට ඒක කැළලක් වෙනවා කියලා හිතන්නේ ඇයි ? අනික අණකිරීම් වෙනුවට හොඳින් කතා කරන්නවත් බැරි ඇයි මේ ඩබලට ? 
නිල්පාට තීන්ත බාල්දියක් ඔළුවේ හැලුනු නරියෙක් ගැන ජනකතාවක් මතක් වුණා.  මේ කතාවේ හැටියට අමුතු ම සතෙක් වෙන නරියා අනිත් සතුන් විසින් රජකමට පත් කරගන්නවා.  ඒත් තමන් නරියෙක් බව හැමතිස්සෙම නරියගේ හිතේ තියෙන්න ඇති.  මම හිතුවේ තමන්ගේ අළුත් රූපකාය ආරක්ෂා කරගැනීම ගැන ඌ මොනතරම් බයකින් ඉන්න ඇතිද කියලා.  මේ අමුතු හැසිරීමට අදාල ව අර ඩබලගේ ඓතිහාසික වංශ කතාව පිරික්සා බලපු මට මේ නරිවස්තුව උදව් වුණා ඒක තේරුම් ගන්න.මේ අය ගැන දැන ගෙන හිටපු කීපදෙනක් හරහා මට ලැබුණ විස්තරවලින් කියවුණේ මෙහෙම කතාවක්; මේ ඩබලගෙන් එක්කෙනෙක් මේ ආයතනයට එන්න කලින් රජයේ වෙන ආයතනයක පියන් කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා.  අවුරුදු පහක් මාර කට්ටක් කාලා තමයි දැන් මේ ඉන්න තනතුරට යන්තම් set වෙලා තියෙන්නේ.  අනිත් එක්කෙනා මේ ආයතනයේ ම අවුරුදු ගානක් තිස්සේ කම්කරුවෙක් හැටියට වැඩ කරපු කෙනෙක්.  අවුරුදු ගණනක් ම අස්-පස් කර කර, බර වැඩ කර කර, අත් උදව් දෙමින් ලොකු කට්ටක් කාලා තමයි මේ තනතුරට යන්තම් set වෙලා තියෙන්නේ.  මලක් වෙන්නනම් කටු පොකුරු සිපගන්නම ඕන, රත්න ශ්‍රී කීවා වගේ.  කඳුළු අතරින් මතු වෙන සිනහව ලස්සනයි.  මාත් මේක ඉහළින් ම අගය කරනවා.  ඒත්, එයාල හිටපු තැන්, එයාලා හිතන් ඉන්න තරම් පහත් නෑ; දැන් ලබල තියෙන-ඉස්සරහට ලබාගන්න ඉන්න තනතුරු හිතන් ඉන්න තරම් උසස් වෙන්නෙත් නෑ.  .තනතුරු. කියන්නේ උස්-පහත්භාවය හොයාගන්න තියෙන මිණුම්දන්ඩක් නෙවෙයි.  මෙන්න මේක තේරුම් නොගන්න එක තමයි මට එයාල ගැන තියෙන ප්‍රශ්නය. 
නිල-බල ක්‍රමයක් ඇතුළේ තනතුරක් කියන්නේ නිශ්චිත කාර්යභාරයක්;වගකීමක්.  ඒවා ඉටු කරන්න තමයි බලතල හා වරප්‍රසාද පැවරෙන්නේ.  ඒත් දැන් අර අපේ ඩබල වගේ අයට මේක ඇඟ පුරා හැලුන සායම් බාල්දියක් ! එයාලගේ කළින් තත්වය එළිදරව් වෙලා, සායම කොයි වෙලාවේ යාවිද කියල බයයි;සැකයි.  මේ නිසා ඇඟේ හැලුන සායම පරිස්සම් කරගන්න ඒ ගැන මාර serious හිතකින් තමයි මුළු දවසම ගත කරන්නේ !
ඉතින්, ලබාගන්න තනතුර හරහා මෙයාල කරන්නේ තමන් එදා විඳපු දුක, පීඩනය එදා තමන් වගේම අද ඉන්න අහිංසකයෙක් මතින් පිටකිරීමයි; ඔවන් ව පීඩාවට පත්කිරීමයි;  තමන් හිටපු පංතියේ ම මිනිසුන් ව පීඩාවට පත්කරමින්, තලමින්, තමන් ලබාගන්න දඟලන වරප්‍රසාදය මොකක්ද ?  කැපී පෙනෙන්න යන්නේ මොනවා දිනාගන්නද ? මේ අය ඇත්තට ම පළිගන්නවානම් ගතයුත්තේ කාගෙන්ද ?  තමන් ව එදා පීඩාවට පත් කළ උදවියගෙන් නොවෙයිද ?  එදා වරප්‍රසාද හිමි පැළැන්තිය ඔවුන්ගේ අයිතීන් උදුරගන්න ඇති; ගරුත්වය තලා දමන්න ඇති; රිදවන්න ඇති.  ඒකේ කිසිම සැකයක් නෑ.  ඉතින් දැන් ඒවාට උත්තර දෙන්නත් ඔවුන්ට අවස්ථාවක් ලැබිල තියෙනවා.  එදා තමන් විඳපු දුක, අද වෙනත් අහිංසකයෙකුට විඳින්න ඉඩ නොදීමයි ඔවුන් කළ යුතුව ඇත්තේ.  වඩා උසස් තත්වයකට ඔවුන් පත් වන්නේ අන්න එතකොටයි.  ඒත් සිදු වෙමින් තියෙන්නේ මේකේ අනිත් පැත්ත. මේක පට්ට ඛේදවාචකයක් ! 

දියුණු ධනපති ක්‍රමයකින් ආපු සුද්දෝ ලංකාවේ නිල-බල ක්‍රමයක් හැදුවට ඒවාට පත් වෙන්න සුදුසු පිරිසක් හැදුවේ නෑ.  ඉතින් ඒ තැන්වලට අදටත් පත් වෙන්නේ තඩි වැඩවසම් ඔළුගෙඩිකාර රජවරු !  ඉතින් හැමදාමත් අපි ආපස්සටමයි යන්නේ.  මේක වෙනස් කරගන්නේ කොහොමද කියලා ටිකක් හිතල බලමුද යාළුවනේ.....?

Wednesday, June 10, 2015

එකෝමත් එක පංතියක කතාවක්

ඉස්කෝලේ කාලේ යාළුකම් හරිම සුන්දර අත්දැකීමක් වෙන්න ඇති ඔයාලටත්.
පුංචි කාලේ ඉඳලා මාත් එක්කත් එකට හිටපු යහළුවෝ පස්දෙනෙක් හිටියා.  සිංදු කිව්වේ, කෑවේ-බිව්වේ, රණ්ඩු වුණේ,  සෙල්ලම් කළේ එකට.  මොන දේ කළත් එකට ඉන්න තරම් ලොකු fit එකක් තිබුණා.  තරහ වුණත් සැණෙකින් වැරදි වටහා ගෙන ආයෙත් හිටියටත් වඩා හොඳින් ඉන්න පුළුවන් මාර යාළුකමක් තිබුණා.  ටික ටික ලොකු වෙද්දී පංති කැඩුණා.  අපි එකිනෙකා අළුත් අළුත් පංතිවලට වැටුණා.  සමිපකමේ පොඩි දුරස්ථභාවයක් තිබුණට යාළුකම එහෙමම තිබුණා.  අපි හිනා වුණා; විහිළු කළා; පංති ගියා එකට.  හරිම ලෙංගතුයි.  අපි තවත් ලොකු වුණා .  එකිනෙකාගෙන් තීරණාත්මක ලෙස වෙන් ‍වෙන්න අපිට සිදු වුණා.  A/L වලින් පස්සේ අපි තව තවත් දුරස් වුණා.  msgs, Calls ටික ටික අඩු වුණා.  අපි කට්ටියටම එහෙම වුණා.  අපි පාසල් සමයේ මවන් හිටපු සුරංගනා ලෝක නැති වෙලා අපිට ඇත්ත ලෝකය මුණ ගැහුණා.  දෙමව්පියන්ගෙන් යැපෙන්න පුරුදු වුන අපිට ජීවන බර දැනෙන්න ගත්තා. ඒක නිසාම රස්සාවල් කරන්න වුණා.  ලොකු වුණා ම මෙහෙම කෙනෙක් වෙනවා, අරහෙම කෙනෙක් වෙනවා කියලා අපි දැකපු හීන අපි කථා වුණා. දැන් අපි ඇත්තටම ලොකු වෙලා.  ඇත්ත ලෝකය, අපේ සුරංගනා ලෝකවලට ඉඩ දුන්නේ නෑ, ගොඩාක් වෙලාවට.  අපි බලාපොරොත්තු වුණේ එකක්; අපිට කරන්න වුණේ තව එකක්.  අපේ යාළුවෝ කට්ටිය එතකොටත් පාරතොටේ, බස් හෝල්ට් එකේ, බස් එකේ ඉඳහිට හරි හමු වුණා.  ඒත් අපි හිනා වුණා; කථා කරා. 
තවත් කල් ගත වුණා.  මට රජයේ සේවයේ අතවැසියෙක් වෙන්න වුණා.  මාත් එක්ක හිටපු තවත් යාළුවෙකුත් ඒ රස්සාවටම පැන ගත්තා.  අපේ යාළුවෝ සෙට් එකේ එක්කෙනෙකුට තාත්තා job කරන්න දෙන්නේ නෑ ලු; ඉතින් එයා ගෙදරට වෙලා ඔහේ කල්මරමින් ඉන්නවා.  තව කෙනෙක් එක එක පොඩි පොඩි රස්සාවල් කරමින් ඉන්නවා.  අපි අතරින් එකම එක්කෙනෙකුට විතරක් එයාගේ සිහිනය රස්සාවක් විදියට හමු වුණා.  එයා කැමති වුණේ Air Hostess කෙනෙක් වෙන්න.  එයාගේ ඇඟත් ඒකට හොඳට ගැලපුණා.  ඉතින් අපි අපේ සිහිනවලට තවමත් ට්‍රයි කරද්දී එයාට එයාගේ සිහිණය සැබෑ කරගන්න පුළුවන් වුණා.  ඉතින් එයා Air Hostess කෙනෙක් වුණා කීවම මටත් ලොකු සතුටක් දැණුනා.  ඒත් එයාට විෂ් කරන්නවත් මට බැරි වුණා.  මේ සුබ ආරංචිය එයා ම  කීවානම් මම ඒ වෙලේ ම විෂ් කරනවා අනිවාර්යයෙන්; මට ඒක කරන්න ඕනකම තිබුණා. මේ හිත හදා ගන්න කියනවා නොවෙයි; මට එයාගෙන් ම නැතිව වෙන වෙන අයගෙන් මේ ආරංචිය ආවාම විෂ් කරන්න ඕන කියල හිතලා, වැඩේ කල්යනවා. මතක් වෙන වෙලාවේ මොනවා හරි අඩුවක්. මගෙත් වැරැද්ද තමයි.  කොහොම හරි ඉතින් ඒකත් කරගන්න බැරි වෙලා ගියා. 
මේ ළඟදී දවසක එයාගේ තාත්තා accident එකකින් නැති වුණා.  මාත් එක්ක වැඩ කරන අනිත් යාළුවා මට ඒ ආරංචිය ගෙනාවේ.  ඒ තාත්තාව මම දන්නෙවත් නෑ. ඒත් ඒ අපේ පරණ හොඳම යාළුවෝ සෙට් එකේ එක්කෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ඉතින් පහුවෙනිදා මම අම්මත් එක්ක ගියා මළගෙදරට.  ඇත්තටම ඒ මගේ යාළුවා වෙනුවෙන්මයි.  අවුරුදු ගණනකට පස්සේ මම මගේ යාළුවා දැක්කේ.  එයා ගොඩක් සුදු වෙලා; ලස්සන වෙලා.  ඒ වෙලාවේ මට ලොකු සතුටක් දැණුනා. මට ඕන වුණා කතා කරන්න.  ඒත් එයා අපිව දැකලා එන්නං කියා ගෙන එතනින් ගියා.  ඒ අතරෙම එයාගේ ඔෆීස් එකේ කියන්න පුළුවන් තව කට්ටියක් ආවා.  එයා ගියේ ඒ අය ළඟට.  මම අම්මත් එක්ක එහා පැත්තට වෙලා ඉඳ ගෙන බලා හිටියා.  එක වචනයක්වත් කතා කරන්න මගේ යාළුවා මම ළඟටත් ඒවිද කොයි වෙලාවේ හරි...?  ඇයි දෙයියනේ අපි ආවේ එයා වෙනුවෙන් කියලා එයාට තේරෙන්නේ නැද්ද ?  නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැද්ද ?  නැත්නම් වෙන මොකක් හරි තරහක්වත්ද ?  පස්සේ මට තේරුණේ එයාගේ අළුත් ofc යාළුවෝ ඉන්දැද්දී අපි එක්ක කතා කරන එක එයාට මදිකමක් වගේ දැනෙන්ත් ඇති කියලා.  එකිනෙකා හඳුන්වා දෙන වෙලාවකදීවත්, එයාට මාව මතක් වුණේ ම නෑ.  මාව විතරක් නොවෙයි; ඒ වෙද්දීත් බඩ බැඳ ගෙන වගේ මළගෙදර පදිංචි වෙලා හිටපු මගේ අනිත් යාළුවාවත්.....  මේ අර අල්ලන සෙල්ලම් කරපු මගේ යාළුවාමද ?  Teachersලට හොරෙන් දිවුල් අච්චාරු කාපු යාළුවාමද ?  ගණන් ඉගෙන ගන්න එකට පංති ගිය යාළුවාමද ?  මට අදහා ගන්න බෑ.  මට දුකකුත් දැණුනා; ලැජ්ජත් හිතුනා.  අම්මට මොනවා කියන්නද ?  අපි නැගිට්ටා.  එයා ළඟට ගියා. අපි යනවා කීවා.  අම්මත් කීවා යන්නම් දුව කියලා. “Thnkz Aunty” එච්චරමයි එයා කීවේ; ඒකත් අම්මට විතරයි. 
මට ගොඩාක් දුකයි.  ඒත් එයා ඒ විදියට වෙනස් වෙලා කියලා හිතන්න ඊටත් වඩා දුකයි. නෑ; ඒක එහෙම වෙන්න බෑ.  මගේ හිත සංරක්ෂණ ප්‍රයෝග හොයා ගෙන ගියා. එයාට තාත්තාගේ මරණය නිසා ගොඩක් දුක ඇති.  ඒ නිසා කතා කරගන්න බැරිව ඇති.  ඒත්, එතකොට අනිත් අයත් එක්ක කතා කළේ ?  මොළේ, හිතට යුද්ධ ප්‍රකාශ කරනවා.  මට උත්තර නෑ.  අවසන් කටයුතු දවසේ යම්දෝ- නොයම්දෝ කියලා හිත හිතා ඉන්න කොට තවත් යාළුවෙක් තනියම යන්න බෑ කිය කියා වැළපුනා. ඒත් මට ඒ තරම් හිතක් නෑ යන්න. අන්තිමට එයා එහෙම වෙනස් වෙලා නෑ කියලා හිත මට ඒත්තු ගන්වන්න try කරද්දී මම එකඟ වුණා, එයත් එක්ක අවසන් දවසෙත් යන්න.
ඔන්න ඉතින් අන්තිමට මම ගියා.  ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ මම ගෙදරටත් ගියා.  ඒ, එයා එක්ක කතා කරන්න ඕන නිසා වචන කීපයක්වත්.  මම ගියා එයා ළඟට.  එයා යද්දී, මම එයාගේ අතින් අල්ලලා කතා කළා.  අත අහකට අරගෙන යන්නම් කියා ගෙන එයා එදත් තරප්පු පෙළ නැඟල අළුත් යාළුවන් අතරට ගියා.  මට දැණුනේ මම ළඟ හෙනයක් පිපිරුවා වගේ.
ඔව්; එයා වෙනස් වෙලා. එයාගේ මුහුණ, ඇඳුම්-පැළඳුම් විතරක් නොවෙයි; එයා හිතන-පතන විදියත් ගොඩාක් වෙනස් වෙලා.  ඉස්කෝලේ කාලේ අපි හිටියේ එකම පංතියක තමයි. ඒත් දැන් අපි වෙනස් පංතිවල. මම ඉස්සරහ පුපුරපු හෙනයේ එළියෙන් මට මේ දේවල් පේන්න ගත්තා.

Saturday, June 6, 2015

මගේ ප්‍රයිමරි ගුරුවරු සෙට් එක සහ තවත් අය

           
චූටි කාලේ ඉඳලම අපි ගොඩාක් මුණ ගැහුණ, ජීවිතයට ගොඩක් සම්බන්ධ, ගොඩක් බලපෑම් කරපු පිරිසක් නේ ගුරුවරු කියන්නේ.  මගේ ජීවිතයට වගේ ම ඔයාලගේ ජීවිතවලටත් මේ ගුරුවරු සෙට් එකෙන් ලොකු බලපෑමක් වෙන්න ඇති නේද ?  කැමතිම ගුරුවරු වගේ ම පෙන්නන්න බැරි අකමැති ම ගුරුවරු සෙට් එකකුත් ඇති නේ ඔය කාගේ කාගේත් ජිවිතවලට හම්බ වෙලා....අනේ මන්දා......ගුරුවරු මාරයි ; ශ්‍රේෂ්ටයි කීවට මගේ ජීවිතයටනම් මට හමු වෙලා තියෙන ගුරු සෙට් එකෙන් බහුතරයක්ම මාර අප්සෙට් කට්ටියක්.  මමනම්, අවුරුදු දහතුනටම ආශාවෙන් ස්කූල් ගියේ අන්තිම අවුරුදු දෙකේ තමයි.  මොකද, එතකොට ගුරුවරුත් අඩුයි; විෂයනුත් අඩුයි; යාළුවොනම් වැඩියි.  ප්‍රධනම එක තමයි දෙයියනේ කියලා අවසාන අවුරුද්දේ හොඳ ගුරුවරු සෙට් එකක් ලැබුණා.  ඒ ලෙවල්වල හොඳම පැමිණීමකුත් මට තිබුණා.  අනිත් හැම අවුරුද්දෙම සතියට දවස් දෙක-තුනක්ම කට් කරලා හොඳ වාර්තාවක් මම තියලා තිබ්බා, කාටවත් සෙකන්ඩ් නොවෙන්න ! 
හරි ; කොහොම හරි අපේ ස්කූල් එකේ ලොකු ටිචර්ස්ලා සෙට් එකක් හිටියා.  එක වසර පංතිය ගැනත් මට යන්තමට වගේ මතකයි.  පංති භාර ටිචර් ගැන කියනවානම්, එයා මාර හොඳ වගේ දැණුනා අපි පංතියට ආ මුල් දවසේ.  හරි ආදරෙන් තමයි කතා කරලා අපිව පිළිගත්තේ.  ඒත් ටික දවසත් එහෙම යන කොට එයා ළමයින්ටත් වඩා ළමයින්ගේ දෙමාපියන්ට ගොඩාක් ආදරෙයි කියලා දැණෙන්න ගත්තා.  ළමයින්ගේ අම්මටයි, තාත්තටයි ගොඩාාාක් සල්ලි තියෙනවනම්, එයා ඒ ළමයටත් ගොඩාාාාක් ආදරෙයි...! අම්මෝ ඉතින් ඒ තෝරා බේරා ගන්න ළමයින්ව හරියට හුරතල් කෙරුවා.  එයාගේ හුරතලේ සීමාවක් නෑ.  අපි වගේ අසරණයින්ට ඉතින් හුළං තමයි !
අපේ දෙක වසරේ ටීචර්ගේ විශේෂත්වය තමයි, ඇඳුම්-පැළඳුම් ලස්සනට-සුදට -පිරිසුදුවට තියෙන ළමයින්ට එයා හරි ආදරෙයි.  හොඳ සැළකිල්ලක් දක්වනවා.  අපි පුංචි වුණත් ඒක හොඳටම තේරුණා. 
තුන වසරේ ටිචර්ව මතක් වෙන කොටත්, හුස්ම හිරවෙනවා.  එයාගේ නපුරු මූණ මකත් වෙන කොටත්, බය හිතෙනවා.  එයා හිතන්නේ ළමයින්ට අල්ලගෙන හොඳටම තැළුවාම ළමයින්ගේ බුද්ධිය පහළ වෙනවා කියලා. 
හතර වසර කෙනානම් හරි හොඳයි.  ඇත්තටම එයා ළමයින්ට ආදරෙයි.  ඒත් එයා හරිම අපිරිසිදුයි; අපිළිවෙලයි.  ඒකයි එයාගේ ලොකුම අඩුපාඩුව.
පහ වසර කෙනානම් සම්පූර්ණයෙන් ම පංතිය කොටස් දෙකකට බෙදල තිබුණේ.  එයා හැම තිස්සෙම උගන්වන්නේ දක්ෂයන්ට ම විතරයි.  අනෙක් කොටස ගැන එහෙමම අමතක වෙලා එයාට.  ඒ මදිවට ළමයින්ව හරියට කොන් කළා.  සමහර සිද්ධි ගැන මතක් වෙන කොටත් දුකයි. 
ප්‍රයිමරියෙන් එහාටත් ලොකු වෙනසක් වුණේ නෑ. 
අපේ හය වසර පංති භාර ටීචර්නම් මගේ නමවත් දැන ගෙන හිටියේ නෑ.  මං වගේ ළමයෙක් ඉන්නව කියලවත් එයා දැන ගෙන හිටියේ නැහැ, මට දැනිච්ච විදියටනම්.

ඔය වගේ එතැනින් එහාට ලැබුනු ගුරුවරුත් තනිකර පක්ෂපාතීත්වය, පිළිවෙල, ආර්ථික මට්ටම්, පෞද්ගලික හිතවත්කම්, අඳුම්-පැළඳුම්, දක්ෂ-අදක්ෂබව මත තමයි ළමයින්ට ආදරේ වෙන්න, උගන්වන්න තෝරගන්නේ.  හොඳ ගුරුවරු ඇති.  ඒ අතරිනුත් සමහරු ඒ කාලේ එහෙම තෝරගත්ත ළමයින් විසින් ප්‍රතිඋපකාරයක් හැටියට හොඳයි කියලා තෝරගත්ත අයත් ඇති.  මගේ පාසල් ජීවිතයෙන්නම් හොඳයි කියල දහයක් තෝරගන්න හරි අමාරුයි ගුරුවරු.  ඒත් දාන-පිංකම්, සිල් සමාදන්, බෝධි පූජාවලින්නම් අඩුවක් නෑ.  ඒත් ශිෂ්‍යයෙක් තේරුම් අරගෙන උගන්වන්න තරම්නම් මොළයක් නැති පිරිසක් තමයි බහුතරයක් ගුරුවරු.  ඒත් තව දෙයක් ති‍යෙනවා; අතේ ඇඟිලි ඔක්කොම එක සමාන නෑ වගේ මේක සියළුම ගුරුවරුන්ට පොදු කාරණයක් නොවෙයි.  ඒත්, ඔයාලත් ටිකක් හිතල බලන්නකෝ.....