Wednesday, July 8, 2015

තිත්ත හිවල්ලු සහ රසවත් මිදි

"අරකි අඳින හැටි ! ෂික් කිසි ලැජ්ජාවක් නැහැ" 
"මේ වගේ වැඩ කරන තැනකට ගැලපෙනවද ඔහොම අඳින්න ?"
"යන විදිය ! හිතන් ඉන්නේ හරි ලස්සනයි කියල වෙන්න ඇති"
"හැටි විතරක් ! කොන්ඩේ නික්ම කොටම කොට බලු නැට්ටක් වගේ"
"බුරිය පේන්න අඳින්න පිරිමි අල්ලගන්න වෙන්න ඇති"  

මේ ආකාරයට ඈ බොහෝ සේ විවේචනයට ලක් විය. 

එහෙත්, ඈ ලස්සන ය; හැඩකාරය. ඇගේ සිහින් සිරුර, පළල් වූ උකුළ, කෙටි කොණ්ඩය, තද කළු පැහැති ඇස්, රත් පැහැ දෙතොල්, තළෙලු වටනුරු මුහුණ කාගේත් සිත් වසඟයට පත් කළේ ය.  ඉහළ ධූරයක් දැරූ ඇය බොහෝ විට එහි රාජකාරී සඳහා සිය නිල කාමරයේ රැඳී සිටියා ය.  රාජකාරී අවශ්‍යතාවයකට හෝ ඉඳ හිට ඇය සිය නිල කුටියෙන් බැහැර වන මොහොතක් වෙනුවෙන් ඒ අවට ‘රාජකාරී‘වල යෙදුනු පිරිමි කෙළ හලමින් සිටියේ ගොදුරක් ඩැහැගැනීමට මාන බලන වෘක රැළක් සිහි ගන්වමිනි.  ඇගේ හුරුබුහුටි ලාලිත්‍යයට සැඟවුණ දඟකාරකමක්  ඈ සතු විය.  එම දඟකාරකමට කවුරුත් පාහේ ආශා කළේ ය.  නමුත් කිසිවෙක් එය සෘජු ව ප්‍රකාශ නොකළේ ය.  ඈ කතා කරන විට බොබ් කට් කැපූ ඇගේ කෙටි කොණ්ඩය දෙපසට වැනෙන්නේ ය.  කතා කරන විට ඉරියව් රැසකින් මුහුණ හැඟීම්බර විය.  අනෙකුත් ගැහැණුන් මෙන් නොව ඇය සාරිය ඇන්දේ අමුතු විලාසිතාවකට ය.  ඇඟට හිර වෙන්නට ඇඳි සාරිය ඇගේ නාරි දේහයේ අලංකාරය තවත් වැඩි කළේ ය.  නාභිය ද සමඟින් වැඩි කොටසක් නිරාවරණය වූ ඇගේ බඩ දෙස බොහෝ පිරිමින් බැලුවේ කෑදර හොරැහිනි; බොහෝ ගැහැණුන් මවා ගත් පිළිකුල් ඇසකිනි.

අත්පත් කර ගත නොහැකි වූ ෆැන්ටසිය කොයි කවුරුත් පීඩනයට පත් කළේ ය.  එය ප්‍රකාශයට පත් වූයේ ඉහත ආකාරයෙනි.  පිරිමි බලා සිටියේ තව මදකින් හෝ ඇගේ සිරුර නිරාවරණය කර ගැනීමේ අපේක්ෂා දල්වා ගෙන ය; එක මොහොතක් හෝ ඈට හැකිතාක් කිට්ටු වෙන්නට මාන බලාගෙන ය.  ඒ අතරේ ම ඒ ‘රසය‘ තමන්ගේ සමීපතම සඟයා හෝ භුක්ති විඳීම ගැනනම් එකෙක්වත් පක්ෂ නොවීය.  තමන් සතු විය යුතු මේ අවධානය හා ආකර්ෂණය, විවිධ හේතු මත තමන්ට කරන්නට නොහැකි ‘මායමකින්‘  තමන්ගෙන් උදුරා ගන්නා ඇය ගැහැණුන්ගේ වෛරයට පාත්‍ර විය.  ඇය සතු ඉහළ ධූරය නොවන්නට මේ කොයි කවුරුත් එකතු වී මේ වන විටත් ඇය චප්ප කර දමන්නට නියමිත ව තිබුණි. 

ඉතින් ඍජු ව පහර ගසන්නට බැරි තැන මෙන්න මෙවැනි දැ සිදු වෙන්නට නියමිත ය ! 

දවසක් දා උදේ පාන්දරින්ම ආයතනය පුරා පැතිර ගිය කට කතාවකි.

"දවල් කාලේ රස්සාව මේක වුණාට රෑට මෙයා කරන්නේ ගණිකා වෘත්තිය ! රෑට ගෙන්වගන්න පිරිමි සමහර විට පිටත් වෙන්නේ උදේ..."

ඇය පදිංචිව සිටියේ උසස් නිලධාරීන් සඳහා ආයතනයෙන් දී ඇති නිවාස සංකීර්ණයේ එක් නිවාසයක ය.  මේ කතාව ගෙන ආවේ ‘ඇසින් දුටු සාක්ෂිකරුවෙකු‘ ලෙස පෙනී සිටි, එම සංකීර්ණයේ ම පදිංචි තවත් උසස් නිලධාරියකු විසිනි.  අනෙකුත් සියළු ම රාජකාරී කටයුතුවලට නැති තරම් වේගයකින් ද, අති මහත් උනන්දුවකින් ද උස්-පහත් වෙනසකින් තොරව කාර්ය මණ්ඩලය විසින් මෙම පුවත බෙදා ගන්නා ලද්දේ අසුචි ගොඩක් වටා සැරිසරන නිල මැස්සන් රැළකගේ උද්‍යෝගයෙනි !  නිවසට ගෙන්වා ගන්නා පිරිමින් සමඟ රෑ එළි වෙන තුරු ඇය කාමමිත්‍යාචාරයේ යෙදෙන අයුරු ගැන ‘රසවත්‘ කතන්දර හැම කෙනෙක් ම පාහේ බෙදා-හදා ගත්හ.  කතන්දරය ගෙන ආ නිලධාරියා කලක් තිස්සේ ඇය සම්බන්ධයෙන් ‘ලව්ගින්නකින්‘ පිළිස්සෙමින් සිටි බව, ලැව්ගින්නක් සේ මෙය පතුරුවා හැරි අය අමතක කර දැමූ හ; ඒ නිලධාරියා පවා එසේ කොට තිබුණි.

පුවත පැතිර ගිය වේගය අනුව එදින ම ඇයට ද මේ ගැන දැනගන්නට ලැබුණි.  ඇය උරණ වූවා ය; වහාම පොලීසියට ගොස් ඊට එරෙහි ව පැමිණිල්ලක් සටහන් කළා ය. 
මෙතැනින් එහා සිද්ධිය ගැන ද මා දන්නේ කටකතාකරුවන්ගේ පිහිටෙන් ම ය.  උස්-පහත් භේදයකින් තොර ව ආයතනයේ සේවක-සේවිකාවෝ එම කටයුත්තේ අනලස් ව තවදුරටත් යෙදුනේ මෙවැනි අදහස් පළ කරමිනි.

"පොලීසි ගියා ලු නේ ! බැනල එළවා ගත්ත ලු ! ඇත්තටම පොලීසිවලට වෙන වැඩක් නැතිවද !"
"ප්‍රශ්නයක් තිබුණානනම් මේවා ආයතනය ඇතුළෙ ම විසඳා ගන්න තිබුණ නේ"
"අර මනුස්සයා කියන්න ඇත්තේ ඇත්ත වෙන්න ඇති.  විලි ලැජ්ජාවක් නැතිව ඕවා පොලීසිවලට පැමිණිලි කරන්න යනවද වැදගත් ගෑනියෙක්නම්"
"ඔය කර ගත්තේ ගිහින්. හොඳ වැඩේ. ඔය ගෑනිට ඔහොමමයි වෙන්න ඕන"

ඇත්තට ම සිදු වූයේ කුමක්දැයි මම නොදන්නෙමි.  ඒ වැනි දේවල ඇත්ත දැන ගැනීමට වඩා අපේ සමාජය තුළ ඇත්තේ අති දැවැන්ත ඕපාදූප තොරණකින් ඇස් නිලංකාර කරගැනීමේ ඉඩකි.  ඒ තවත් ප්‍රශ්නයකි. එය මෙහි දී සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරමි.  කටකතාවේ සඳහන් ‘චෝදනාවට‘ ඇයගේ සම්බන්ධය කුමක් වුව ද, එමගින් තමන්ට අත් වන අපහසුතාවය සම්බන්ධයෙන් ප්‍රතිකර්ම අපේක්ෂාවෙන් ගිය තැන යුක්තිය වෙනුවට ඉටු වන්නේ මෙවැනි ‘රාජකාරියක්‘ නම් ඒ තවත් කතාවකි.  එය ද මෙහි සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරමි.  මගේ කාර්යාලයීය සඟයන්- ලොක්කන්-සොක්කන්, පිරිමින්-ගැහැණුන් සියළු දෙනාගේ ම ප්‍රතිචාරය මා තුළනම් මතු කළේ මහත් පිළිකුලකි; කම්පනයකි.  ඒත් එක අතකට එසේ විය යුතු ද නැත.  මේ අතිශය සාමාන්‍යයයි.  ලංකා පොලෙවේ අතිශය සාමාන්‍ය යථාර්තය මෙයයි. එහෙත් එය ම කම්පාවට හේතුවක් විය නොයුතු ද ?

ඈ සමඟ යහන් ගත වීමට පෙරුම් පුරමින් බලා සිටි, එහෙත් ඒ පාරමිතා පාරාජිකා වූ කල ඒ දැඩිතර ආශාව, ඉරිසියාවක් හා වෛරයක් බවට පෙරලාගෙන ඇගෙන් පලිගන්නට මාන බැලූ පිරිමින් ද, ඇය නිසා අහිමි වන තමන්ගේ ‘තැන‘ ගැන දැඩි හීනමානයකින් පෙලුන ගැහැණුන්ද ඇය කෙරෙහි දැඩි වෛරයකින් දැන් පසු වන්නේ කුහකත්වයේ නිරුවත ප්‍රදර්ශනය කරවමිනි. 

ඊයේත්, අදත්, හෙටත් මේ සමාජය ඈට දැඩි ලෙස වෛර කරනු ඇත.  ඒ මේ සමාජය හැම අතින්ම අසමත්- ඒ අසමත්බව පිළිගන්නට පවා අසමත් සමාජයක් නිසා යයි මට දැනෙයි.  ඇතැම් විට ඒ අසමත්භාවයන් අපේ උන්දැලාට ‘මාර දේවල්‘ වේ. එ විට පිස්සු ෂෝක් ය !  අසමත්භාවයන් පිටාර ගලන්නේ වෛරී ප්‍රචණ්ඩත්වයකිනි.  මේ සමාජය අස්සේ ඒ ගොන් පාර්ට් එකත් මාර ‘පිරිමිකම‘කි !

ඉතින් මෙහි දී ‘මිදි‘ වැනි භාණ්ඩ බවට පත් කර ගත් ගැහැනුන් ‘රකින-‍කෙලසන‘ වගකීම් දරණ, මනුෂ්‍යයන් වෙනුවට හිවලුන් බවට පත් වුණ පිරිමින්ගෙන් යුත්,  'එය එසේ විය යුත්තක්' බව අදහන ගැහැණුන්ගෙන් ද යුත්, අඩු දියුණු ප්‍රාග්ධනයකින් මෙහෙයවෙන මේ වැනි සමාජයන් සමාන කළ හැක්කේ මිදි තිත්ත යැයි කියන හිවලුන්ගේ සමාජයකට නොවේ ද?                

14 comments:

  1. තමන්ට කරගන්න බැරි දේවල් වෙන එකෙක් කරනවා දකිද්දි ඉවසන්න බැරි උන් තමයි කියවන්නෙ. තමනුත් එහෙම අඳින්න ඇවිදින්න ආසා උනත් ඒව කරගන්න බැරි කමට ඉරිසියාවෙ පැලෙනවා.

    ReplyDelete
    Replies
    1. අැත්ත ! මේ අසමත් සමාජය යහපත් අතට වෙනස් කරන්න අපට පුළුවන් වෙයි නේද.....

      Delete
  2. හැමතැනම මේක තමයි වෙන්නේ. මට හිතෙන්නේ යම් ගැහැනියක් විසින් ගණිකාවක්ව අනවශ්‍ය පරිදි විවේචනය කරනවා නම් එතැන ඇත්තේ බොහෝ පිරිමින් සමග සහවසායේ යෙදීමට යටකී ගණිකාවට ඇති හැකියාව ගැන අනෙක් ගැහැනිය තුළ ඇති ඊර්ෂ්‍යාවයි.

    ReplyDelete
    Replies
    1. ගැහැණුන්ගෙත්, පිරිමින්ගෙත් අසමත්භාවය ගැන ප්‍රශ්නයක් තමයි, ‘සදාචාරාත්මකව‘ වෛරයක් විදියට පළ වෙන්නේ. ආකර්ශනීයත්වය, ‘විවෘත ආරාධනාවක්‘ විදියට පටලව ගන්න පිරිමි වැඩි වශයෙන් මෙ සදාචාරයට මුවා වෙලා ඊට පස්සේ ගල් ගහන්න පටන් ගන්නවා. ඒ පිරිමිසංස්කෘතියේ ගොදුරු බවට පත් වුණ ගැහැණු, ඒක ඇතුලේ ‘පූජනීය‘ වෙන්න ට්‍රයි කරනවා. ඉතින් නිරංජන්ගේ කතාවත් ඇත්ත.

      Delete
  3. මම දකින කාර්යාලීය පරිසරයේ නරක වැඩ කිරීමට බොහෝ ආශා තිබුණත් ඒවා ඉටුකරගත නොහැකිවූ මිදි නොලද නරින් වැනි පිරිමින් සහ ඊටත් වඩා එවැනිම වූ පිරිමින් ලවා තම අවශ්‍යතා කලට වේලාවට ඉටුකරගත නොහැකිව වියපත් වූ නරි දෙනුන්ගේ කාර්යභාරය මෙවැනි සිද්ධීන්හිදී මැනවින් දැක ඇත්තෙමි.

    ReplyDelete
  4. ඔව්. ඒක ඇත්ත. මේ මුළු සමාජයම පොදුවේ ඒ වගේ. පාම්පෝරිවලින් හැර හැම අතින්ම අපි අඩු දියුණු සමාජයක් නොවැ....ඒත්, මේක වෙනස් කරන්න අපිට බැරි වෙන එකක් නෑ නේද...?

    ReplyDelete
  5. මම ඉන්න ගෙදර උඩ තට්ටුවේ ඉනනේ Spa එකක වැඩ කරන නංගියෙක්..අපිත් එක්ක කතා කරනවා කරදරයක් නෑ..මම සදුටත් කියලා තියෙන්නෙ අපිට වැරැද්දක් නැත්නම් ඒක එයාගේ කැමැත්ත නිදහස රස්සාව

    ReplyDelete
    Replies
    1. ඒ වගේ හිතන්න පුළුවන අය බහුතරය වුණ දාට, අපිට ලංකාව ගැන සුබවාදි ව දකින්න පුළුවන් වේවි නේද....

      Delete
  6. බ්ලොගර් පලෝවරය එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. උත්සාහයක් දරනවා. තාම හරි ගියේ නැ වගේ. යෝජනාව ගැන ගොඩාක් ස්තූතියි !

      Delete
  7. මමනම් හිතන්නේ ඇය ලක්ෂණ කාන්තාවක් නම් ඇයට ඔය වගේ කතාන්දර ඇසීමට සිදුවීම සාමාන්‍යයි. ඒක කවර රටක කුමන පසුබිමකදී වුවත් එහෙමයි. ඇයට තිබුනෙ ඒක ගනන් ගන්නෙ නැතුව ඉන්න.. ඇය නිවැරදි කාරිය නම් කවුරු කෙසේ බොරු ගෙතුවත් යම් කාලයකදී සත්‍ය ඉස්මතු වෙනවා. ඔය වගේ පොලිස් කේස් වලින් වෙන්නෙ ඇය තවදුරටත් වැරදිකාරියක ලෙස සමාජයේ හංවඩු ගැසීම පමණයි.. ඇයට මෙහිදී කායික හිංසනයක් සිදු වන්නේ නෑ.. ඇයට සිදුවී ඇත්තේ අසාධාරනයක් බව සත්‍යයි. නමුතු මුලු මහත් සමාජයම ඇයට එකම චෝදනාවක් කරද්දි එය මැඩපවත්වන්නට පොලිසියට සැබැවින්ම අපහසුයි.. පොලිසිය ක්‍රියාත්මක වන්නෙත් මේ සමාජයේම තමයි..

    ReplyDelete
    Replies
    1. යුරෝපය වගේ ද්යුණු සමාජයකදී මේ වගේ ලක්ෂණ රෝගයක් හැටියටම හඳුනා ගන්නවා. නොදියුණු සමාජවල ලක්ෂණය මේ කැත වැඩ ‘වටිණා සංස්කෘතිකාංග‘ හැටියට රැකගෙන පෝෂණය කිරිමයි. ඒ විදියට කොහොමවත් මේ වගේ දේවල් ‘පෞද්ගලික ප්‍රශ්නයක්‘ වෙන්නේ නැහැ. ඒ නිසයි මම හිතන්නේ ඇය පොලීසි ගිය එක නිවැරදියි කියලා. පොලීසිය, ඒ මට්ටමින් ප්‍රශ්නය තේරුම් ගැනීමට අසමත් වුණානම් ඒකත් මේ නොදියුණු බවේ ම තවත් ප්‍රතිපලයක්. ඒ කිසිවක් හුදු පෞද්ගලික ඉවසා දරාගැනීම් වගේ පලායාම්, සැඟවීම් වලින් විසඳන්න බැහැ. සමාජයක් හැටියට වැඩි දියුණු තත්වයක් කරා යන මහජන පෙළගැසීමක් අවශ්‍ය ඒකයි. ඇය ගත් පියවර ඒ නිසා මටනම් අගය කළ යුත්තක්. තව දෙයක්; හිංසනය, කායික-මානසික කියල වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඔබ කියන්නා සේ ඇය ට සිදු වී ඇත්තේ අසාධාරණයක් තමයි. ඒත් ඒක ඇයට විතරක් නොවෙයි. මේ වැඩවසම් පොලීසියට ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දක්වන්නට පුළුවන් වුණාද-නැද්ද යන්න මා හරියටම නොදන්නා නමුත්, ඇයගේ පොලිස් කේස් එකෙන් පස්සේ අර ලෙඩුන් බොහෝ දෙනෙකුගේ කටවල්නම් වැසී තිබුණා. හි හි ! ඒත්, අසාධාරණයන්ට ලක් වෙන අය කටවල් වහ ගෙන, මේ වැනි රෝගීනට ඉඩ දී මුළු ගැන්වුනානම්......?

      Delete
  8. බොහෝ පිරිමින්, තමන් හිතවත් ගැහැණුන් අසංවරව හැසිරෙනවා ප්‍රිය කරන්නේ නෑ.. බොහෝ විට ඒ තමන්ගේ හිත තුළ බාලධර්මයන් ඇතිවන නිසා.. එය තමන්ගේ හිතට වදයක් වන නිසා.. පුද්ගලිකව මටත් දැනෙන දෙයක්.. මං කැමතියි සමාජයේ හැම කාන්තාවක් දෙසම.. මවක්, සොයුරියක්, දියණියක් දෙස බලන අයුරින් බලන්න.. එහෙත්.. අසංවර දසුනක්.. විටෙක.. එකී මව, සොයුරිය, දියණිය වෙත කාමාශාවක් ඇති කරනවා.. කියන්නේ බාල ධර්මයක් ඇතිවීමක්.. එක් පසෙකින් කාමාශාව උද්දීපනය වෙනවා.. අනෙක් පසින්.. එය බාලධර්මයක් බව වැටහෙනවා.. හිතේ ඇති වන්නේ නොසන්සුන් කමක්.. ඒ නිසා.. එවැනි තත්වයකට මා පොළඹවන මගේ සිතට දොස් නොකියා.. මා අසංවර ඇඳුම් ඇඳි කාන්තාවට දොස් පවරනවා..
    අනෙක් අතට මගේ හඳුනාගැනීම අනුව.. සමාජයේ මට වඩා ඉතා දුබල මානසිකත්වයක සිටින අය විශාල ප්‍රමාණයක් සිටිනවා.. ඇතැම් විට ඔවුනට මේ බාල ධර්මයක් බව වැටහෙන්නෙත් නෑ.. ඔවුහූ කාමාශාවේ කෙළවරකටම ගමන් කරනවා.. ඇතැම් විට.. එය අවසන් වන්නේ ඛේදවාචකයකින්.. ඇතැම් විට එහි ගොදුර බවට පත්වන්නේ මේ කිසිවකට සම්බන්ධ නැති අසරණ දියණියක්.. මුලින් කී අසංවර කාන්තාව.. මෙකී සිද්ධියට අදාළ වරදෙහි කොටස් කාරියක් නොවේයැයි සිතිය හැකිද?

    මෙහි සාකඡ්ඡා කර ඇති කරුණ සංකීර්ණ වූ පරාසයක ඇති කරුණු හා සම්බන්ධ වෙනවා.. කිසි විටෙකත්.. මෙය එක් කෝණයකින් පමණක් නොබැලිය යුතුයි..

    හැම කෙනා සතුවම තමන් වෙනුවෙනුත්.. අනුන් වෙනුවෙනුත් කළ යුතු යුතුකම් හා වගකීම් ප්‍රමාණයක් තිබෙනවා.. ඒ ගැන අප සිහිතබා ගත යුතුයි..

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රීයක් කියන්නේ මවක්, සොයුරියක්, දියණියක් වෙන්න පුළුවන්. ඒත්, ඒ විතරමයි කියනවානම් ඒකට එකඟ වෙන්න අමාරුයි. මේක තේරුම් ගන්න මහ අමාරු දෙයකුත් නෙවෙයි. පුරුෂයෙක් කියන්නේ පියෙක්, සොහොයුරෙක්, පුතෙක් විතරක් ම නොවෙනවා වගේ. ‘ස්ත්‍රීය‘ ගැන එහෙම දකින්න බැරි අංශබාග දැක්මේ ම තවත් එක කොටසක් තමයි, ‘සුන්දරත්වය‘ කියන්නේ තමන්ගේ අසහනයන් මුදවා හරින්න විවෘත ආරාධනාවක් කියල ගන්න එක. කරන්න වෙන්නේ මේ අංශබාග දැක්ම වෙනස් කරන එක නොවෙයිද ? එහෙම ගත්තා ම ‘ඒ නිසා.. එවැනි තත්වයකට මා පොළඹවන මගේ සිතට දොස් නොකියා.. මා අසංවර ඇඳුම් ඇඳි කාන්තාවට දොස් පවරනවා..‘ කියා නෙරංජන් කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. ඉතින් අපි ඒක වෙනස් කරමු.

      Delete