Sunday, August 2, 2015

අශාරි 'නරක' තරමට සමුද්‍රා 'හොඳ' ද ?

අද මා ඔබට කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.  මගේ හිතේ ගැටළුවක් මතු වෙල තියෙනවා; ඒ ‘මිත්‍රත්වය‘ ගැන. 

පාසල් ජිවිතය කාලයේ ඉඳල ම මේ වෘත්තිය ජීවිතය කාලය දක්වාමත් මාත් එක්ක එකට ගත කරන යෙහෙළියන් දෙන්නෙක් ඉන්නවා.  එකට කන-බොන, දුක-සැප බෙදාගන්න, එකට ඉගෙන ගත්තු, දැන් එකට රස්සා කරන යෙහෙළියෝ දෙන්නෙක්.  එක් කෙනෙක් අශාරි; අනිත් කෙනා සමුද්‍රා.  ඇත්තට ම ඉස්කෝලෙ කාලේ අපි තුන් දෙනා අතරේ පට්ට fit එකක් තිබුණේ නෑ එහෙමට; ඒත් දැන් අපේ කාර්යාල වේලාවෙන් වැඩි හරියක් එකටමයි ගත වෙන්නේ.  ගොඩක් ළඟින් ආශ්‍රය කරන කොට, කාලයක් ගත වෙන කොට ඒ දෙන්නගේ පැහැදිලි වෙනස්කම් තියෙනවා කියල වැටහෙන්න ගන්නවා. ඒක මිනිස් ගණුදෙනු ගැන මොඩල් දෙකක් වගේ නිසා මට හිතුනා ලියන්න.

අශාරි කටකාරයි.  කටට එන දේ  කියනවා.  ගොඩක් වෙලාවට මට හිතෙනවා එයා කෙළින් කතා කරනවා කියලත්.  ඒ නිසා අවංකකමකුත් තියෙනවා.  ඒ වගේ ම හිතා නොපලා කතා කරන නිසා ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ හිත රිද්දවනවා.  අශාරිට ළඟින් ඉන්න කෙනෙක් නිසා මගේ හිතත් අනන්තවත් රිද්දවන කතා අනන්තවත් එයාගෙන් කියවිලා තියෙනවා.  ඉතින් එයාව අවුල් විදියට මතක් කරවන තුවාල කැලැල්නම් අනන්තයි, කා අතරත් වගේ.  සමුද්‍රා ටිකක් තැන්පත්.  අහිංසක ම නොවුණත් වැඩි දඟකාරකමක් නැති චරිතයක්. එයාගේ ලෝකෙට වෙලා ගොඩක් වෙලාවට එයාගේ පාඩුවේ ඉන්නවා.  ඒ නිසා එයාගෙන් අනිත් අයට වෙන හිරිහැර අඩුයි වගේ තමයි දැනෙන්නේ.                  

දැන්, මම සම්බන්ධයෙනුත් එතකොට මේ දෙන්නා වැඩ කරන්නේ දෙවිදියකට.  අශාරිට මගේ හැම ඕපදූපයක් ම දැනගන්න ඕන.  ගෙදර ඉන්නේ කව්ද, යන්නේ එන්නේ කව්ද, අහල-පහළ කව්ද, ගෙදරට යන පාරේ බල්ලෝ කී දෙනෙක්ද, ගෙදර උයන්නේ-පිහන්නේ මොනවද.....හපොයි මේ හැම දේම ! ඒ විතරක් නොවෙයි.  එයාගේ ඇස්-කන්වලට අහු නොවී, අහල-පහළක ඉන්න කාටවත් ම වගේ ම මටත් මුකුත් ම කරන්න බෑ.  අඩු ම ගානේ කැන්ටිමට ගිහින්  තේ එකක් බොන්නවත්, අඵත් perfume එකක් ගන්නවත් ! එයාගේ මේ සීමාවක් නැති සොයාබැලීම් ඇත්තටම මට වුණත් මළ කරදරයක්.  ඉතින් ගණුදෙනු නවත්වලා දාන්න තරමට එයා ව එපා වෙනවා. (ඒත්,ඒකත් කරන්න බැරි එහෙම තීරණයක් ගත්තොත් මැරෙනකම් හේතු පැහැදිලි කරන්න වෙනවනේ ඒ ගැනත්; ඊට හොඳයි මේක ඉවසන් ඉන්න එකත් කියල හිතෙනවා) කොහොම වුණත් මේ නිසා අන්තිමට අශාරි මළ වාතයක්, ඇනයක් විදියට තමයි මටත් දැනෙන්නේ.  තියුණු අපහාසාත්මක වචන කියලා අනිත් කෙනාගේ හිත රිදවන්නත් ලොකු දක්ෂකමක් එයාට තියෙනවා කියල දන්න නිසා මම අශාරි ව ගොඩක් දුරට මඟ හරින්න try කරනවා.  එයා ළඟට එන බව දැණුනොත් මටත් කළින් මගේ හිත මාරු වෙන්න පුළුවන් වෙන තැනක් හොයා ගෙන පියාඹනවා.  ඒත් සමුද්‍රා මේකෙ අනිත් පැත්ත.  ඒ නිසා එයාගේ යාළුකම මට වාතයක් වුණේ නැහැ.  එයා පෞද්ගලික තොරතුරු හාරා ඇවිස්සුවෙත් නැහැ; හිත රිදවන දේවල් plan කළෙත් නෑ.  මේ නිසා සමහර විට සමුද්‍රා ළඟ ගත කරන කාලය හිතට අස්වැසිල්ලක් වගේ වුණා.  කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන සමුද්‍රා‍ගේ ඇසුර, අශාරිගේ ඇසුරට වඩා මාත් ප්‍රිය කළා.

ඒත් යාළුවනේ........... මේ ලෝකය හරිම පුදුමාකාරයි;  සම්බන්ධකම් ඊටත් වඩා පුදුමාකාරයි.  අනුන්ගේ ජීවිත අස්සට මහ අවිනීත විදියට කඩා පනින අශාරිගේ ගතිගුණවලට වඩා මම වුණත් ප්‍රිය කරපු සමුද්‍රාගේ උපේක්ෂාසහගත මිත්‍රත්වය යටින් තියෙන්නේ වෙන දෙයක් කියල මට දැනෙන්න ගත්තා.  මොකද ?  Ofc එකේදී වුණත්, ගෙදරදී වුණත් මම පොඩි හරි කරදරේක වැටුණු වෙලාවක තාමත් මට උදව්වට එන්නේ සමුද්‍රා නෙවෙයි, අශාරි.  කාටත් කරදරයක් නැතිව, තමන්ගේ පාඩුවේ ඉන්න සමුද්‍රා ඒ වගේ විපත්තිකර වෙලාවකත් සුපුරුදු මුණිවත ම රකිනවා.  කවදාවත් මගේ sms එකකට, cll එකකට reply නොකරන සමුද්‍රා එයාගේ උවමනාවක් ආවාම sms, clls දාන්නේ Highspeed X-press කෝච්චියක් පරදන ඉක්මනකින්.  මම ofc ආවේ නැති දවසක මගේ Phone screen එකේ තියෙන්නේ අශාරිගේ මිස සමුද්‍රාගේ විමසීමක් නෙවෙයි.  මේ හැම දේම stdy කරල බලපුවාම මට වැටහෙන්නේ කාටවත් හිරිහැරයක් නැති ජීවිතයක් සමුද්‍රා ගත කරන්නේ, එහෙම දැනුවත් තීරණයක් අරගෙන නෙවෙයි කියලා.  අනිත් කෙනාට, තමන් ළඟ ම ඉන්න කෙනෙකුට වුණත් මොන මඟුලක් වුණත් සමුද්‍රාට ඒක තමන්ට අදාල නැති දෙයක් හැටියට ඉන්න පුළුවන් නිසා.  සමුද්‍රාට අනිත් අයගෙන් ගන්න දෙයක් මිස අනිත් අයට දෙන්න කිසිම දෙයක් නැහැ.  අනිත් පැත්තෙන් අශාරිට තියෙන ප්‍රශ්නය, එයාගේ අභිමානය, අනන්‍යතාවය අනිත් අය ගොදුරු කර ගන්නේ නැතිව ගොඩදාගන්න බැහැ.  ඒ නිසා එයා අනිත් අයගේ ජීවිත අස්සට මොන විදියට හරි කඩා පැනලා, මොන විදියේ දෙයක් හරි කරනවා. 
අපි ජීවත් වෙන්නේ අඩු-වැඩි වශයෙන් මේ වගේ අයගෙන් සමන්විත සමාජයක.  අපි මතුපිටින්, සරල ව දකින විදියට වඩා ඇතුලෙන්, සංකීර්ණ විදියට බැලුවා  ම සමහර විට තත්වය හාත්පසින් ම වෙනස්.  ‘හොඳ‘ අපි හිතන තරම් ම හොඳත් නැහැ; ‘නරක‘ අපි හිතන තරම් ම නරකත් නැහැ.  මට ඔන්න ඔහොම හිතෙනවා.  යාළුවනේ, කොහොමද ඔයාලට මේ වගේ දේවල් දැනෙන්නේ........?        

6 comments:

  1. මනුස්සයෙක් දිහා උඩින් බලලවත් හැසිරීමෙන්වත් මනින්න බෑ කියනවනේ. මනුස්සයෙක් මොන වගේද කියලා මනින්න ලැබෙන අවස්ථා බොහොම අඩුයි. අපිට කරදරයක් උනාම නම් අපි එක්ක එකට ඉන්න උන්ගෙ හැටි නියමෙට දැන ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම නම් දැකලා තියෙන්නෙ අපි නරකයි කියලා හිතාන ඉන්න උන් ලඟ හොද ගතිගුණ ගොඩක් තියෙනවා කියන එක.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ! හොඳ තුළ නරකත්- නරක තුළ හොඳත්....එහෙම නේද ?

      Delete
  2. ඔබ යාළුවො ආශ්‍රය කරන්නෙ ඇයි.. ? කියන පැනය ත්.. ඔබ අහවලාව ආශ්‍රය කරන්නෙ ඇයි..? යන පැනයත් දෙදෙනා වෙනුවෙන් අසා බලන්න.. සමහර විට මොකක් හරි වැදගත් දෙයක් හමු වේවි.. කොහොම උනත් ඔබ සෙවිය යුත්තේ ඔය චරිත දෙකෙන් වඩාත් හොඳ හෝ නරක කවුද කියන එක නොවේ.. (බැලු බැල්මටම.. දෙන්නාගේම වරදක් නෑ..).. ඔබව වඩාත් අවශ්‍ය කරන්නේ කාටද කියායි..

    ReplyDelete
    Replies
    1. ඔව්; අවශ්‍යතාවයේ හැටියට හොඳ-නරක වෙනස් වෙනවා නේ ද.....?

      Delete