Wednesday, September 23, 2015

මරණ දඬුවමෙන් අපරාධ මරා දැමිය හැකිද ?

පුංචි සේයා....., කඳුලක සේයාවක් පමණක් හදෙහි ඉතිරි කොට මැකී ගොස් අවසාන ය.  කඳුලක සේයාවක් ඉතිරි කර ගියේ ඒ මල් කැකුළ පමණක් නොවේ.  තවත් බොහෝ මල්කැකුළියන්, අහිංසකාවියන් පාපතරයන්ගේ ගොදුරු බවට පත් වී මුකුලිත වී ගියේ ය.  සේයා ට මෙන් ම යාපනයේ විද්‍යාට ද අත් වූයේ මෙවන් ඉරණමකි.  එදා උතුරේ මිනිස්සු පාරට බහිමින් ඒ අහිංසකාවිය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටියෝ ය.  අද දකුණේ මිනිස්සු සේයා වෙනුවෙන් යුක්තිය ඉල්ලති.  මිිනිසුන් අපරාධවලට එරෙහි ව පාරට බැසීම සාධාරණ ය; යුක්තිය ඉල්ලීම සාධාරණ ය.

නමුත් යුක්තිය වෙනුවෙන් ‘මරණය‘ ඉල්ලා සිටීම සාධාරණ ද?

මෙවන් ලේ කකියන අපරාධයන් දකින විට, මෙවන් දරුවන් පාපතරයන්ගේ අතින ඝාතනය වන විට අපරාධකරුවන්ගේ මරණය ප්‍රාර්ථනා කරන හැඟීමක් මනසෙහි මතු වීම තේරුම් ගත හැක.  ඕනැ ම මිනිස් හදවතක් තුළ එවැනි හැඟීමක් ඇති විය හැක.  මට ද එසේ දැණුන අවස්ථා ඇත.

“ඒ පාහරයා එල්ලා මැරිය යුතුය“
“ඒ පාහරයා ගල් ගසා මරා දැමිය යුතු ය“

සේයාගේ මරණයත්, තවත් එවැනි බොහෝ මරණත් දකින විට ඒ ඇති වන හැඟීම සාමාන්‍ය නමුත් අපරාධකරුවාගේ මරණයෙන්, අපරාධ මරා දැමිය හැකි ද ? නීති විරෝධි මරණයකට විසඳුම් පිළිතුර නීතියට අනූව තවත් මරණයක් ද? එවැනි නීතියකුත්, අවනීතියකුත් අතර පැහැදිලි බෙදුම් රේඛාවක් ඇඳ ගන්නට හැකි කිසිවෙක් අපි අතර සිටින්නේ ද ?  මිනිස් සමාජයක් ලෙස අප විසින් අපරාධ වැළැක්විමට සොයා ගත් හොඳ ම විසඳුම මෙය ද ?  අපරාධකරුවාගේ මරණය විසින් ඇති කරනවා යයි අපි බලාපොරොත්තු වන ‘බිය‘, අපරාධ වැළැක්වීමෙහි ලා කොයි තරම් සාර්ථක ද ?

අවසාන වශයෙන්, අපරාධ වැළැක්විම සඳහා සැබෑ විසඳුමකට එළැඹෙන්නේ නැතිව, මෙවැනි විසදුම්වල එල්ලී යෑම, අපරාධ මර්දනයට නොව වර්ධනයට ම හේතු වන්නක් නොවේ ද ?  මරණ දඬුවම සාර්ථක විසඳුමක් නොවන්නේ නම්, එය ක්‍රියාත්මක කිරිම මගින් අපි ඇත්ත වශයෙන් ම කරනුයේ ඒ අපරාධයන් තවදුරටත් තහවුරු කිරීමක් ම නොවන්නේ ද? මම යළි යළිත් සිතා බැලුවෙමි; තර්ක-විතර්ක කළෙමි.

‘උපන්ගෙයි අපරාධකරුවෝ‘ යයි පිරිසක් නැත.  අපරාධවලට මුල් වන බීජයන් ඇත්තේ කොහේද ? ඒවා සොයා, ඒවා විසඳීම හැර, අපරාධකරුවා මරා දැමීම විසඳුමක් නොවේ යයි මට සිතේ.  හේතු-ඵල න්‍යාය ටොන් ගානට දන්නවා යැයි කියන මේ මහා සමාජයට මෙය වැටහෙන්නේ නැත්තේ ඇයිදැයි මට නොතේරේ.  මරණයට මරණයක් මගින් පිළිතුරු ඇතැයි අපට උගන්වා ඇත්තේ කොතනින් ද?  කළ යුත්තේ අපරාධවල මුල බීජ සොයා, ඒවා මුලිනුපුටා දැමීම ම නොවේ ද?

‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය‘ යයි අපි විසින් පාරම් බා ගන්නා මේ දූපතේ පොළොව සරුසාර වී ඇත්තේ ආගමානුකූල, විනයානුකූල, ශිෂ්ඨසම්පන්න මල්ඵල ගන්වන බීජයන්ගෙන් නො ව, අසික්කිත, හිරිකිත, පාපකාරී, ජඩ ක්‍රියාවන් හි බීජයන්ගෙනි.  එසේනම් සමාජයක් වශයෙන් අප කළ යුත්තේ ඒ අස්වැද්දෙන බීජ සොයා, ඒවා විනාශ කර දැමීම ය.

බටහිරයන්ට සංස්කෘතියක්, සදාචාරයක් නැති බව කියමින්, උන් මහ අසික්කිත-වනචර ජාතියක් යයි කියමින්, අපි එහෙම නෙවෙයි කියන මේ ‘මුතු ඇටයේ‘ පාරක් පාරක් ගානේ, හංදියක් හංදියක් ගානේ වෙන්නේ හිරිකිතයක් නැති මිනිමැරුමක් ය; ස්ත්‍රීදූෂණයක් ය; මංකොල්ලකෑමක් ය.  මේ ලියන තත්පරයේ ද කොහේ හෝ තැනක ‘ඒවාට ඉඩක් නැතැයි‘ කියන මේ දූපතේත් එසේ වෙන බැව් රහසක් නොවේ.

මේ කියන සංස්කෘතිය අවුරුදු දෙදහස් පන්සියයකට වඩා ඉපැරණි ලු.  ඉතින් අපට එයින් දැන් උරුම වී ඇත්තේ මොනවාද ?  මේ අපරාධවලට පසුබිමේ ඇති කුහකකම මේ කියන මහ ලොකු සංස්කෘතියේ ලොකු ම දායාදය නොවේ ද ? මට එහෙම දැනෙන්නේ ඇයි ?  අතිශය සාමාන්‍ය දේවල්, ‘මහා අභිරහස්‘ බවට පත් කළ විට ඒවාට නැති වටිණාකමක් ආරූඪ වෙයි; තියෙන වටිණාකම යට යයි.  බොහෝමයක් අපරාධවලට මුල් වී ඇති ලිංගිකත්වය සම්බන්ධයෙන් මේ මහා සංස්කෘතියෙන් කර ඇත්තේ එයයි.   ඉතින් අපරාධවල මුලබීජය, මේ අපරාධවලින් වැනසෙනවා ය කියන සංස්කෘතිය ම නොවේ ද?    මටනම්, මේ උලව් සංස්කාතිය රැකිමට වඩා මේ අපරාධවලින් වැනසෙන ජීවිත ආරක්ෂා කරගැනීම, ජිවිතය සතු නිදහස ආරක්ෂා කර ගැනීම මිලියන වාරයක් වටී.

ලිංගිකත්වය සම්බන්ධ අපරාධ වැළැක්විමටනම් කළ යුතු වැදගත් ම දේ ලිංගිකත්වය ගැන විධිමත්-අවිධිමත්- නොවිධිමත් හැම අතින් ම පරිනත- උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීම ය.  ළමුන් ට පමණක් නොවෙ, වැඩිහිටියන්ට ද එය අවශ්‍ය වේ.  දන්නවා යයි බකපණ්ඩිතකමට සිතා සිටියා ට අපේ වැඩිහිටි සමාජය මේ ගැන දන්න ඉටිගෙඩියක් නැති බව සිදු වෙමින් තියෙන දේවලින් උඩින් ම හෙලිදරව් වෙයි.  ඒකත් හරියට වයස පිරුණා ම ඡන්ද බලයට ලැබුණ සුදුසුකම වගේ ය.

ලිංගිකත්වයේ ඇති අරුමබව නැති කොට, එය සාමාන්‍ය දෙයක් බවට පත් කළ යුතු ය.  දෙමව්පියන් ඒ ගැන අවබෝධයකට ගෙන ආ යුතුයි.  ඒ සඳහා ගුරුවරුන් පුහුණු කළ යුතුයි.

එසේ නොකරන තාක් මේ වැරදි වැඩවලට වැට බැඳිය නොහැකි වනු ඇත.  එල්ලුම් ගස් දසදහසක් ක්‍රියා කළත් ප්‍රතිඵලය මෙය ම වනු ඇත.

දැන් අපි මෙය අපේක්ෂා කරනුයේ මේ රටේ පාලකයන්ගෙනි.  උන්ව පාර්ලිමේන්තුවට යැව්වේ අපේ හඬ නියෝජනය කරන්නට ය.  ඒත්, ඒ හරක් හිතා ඉන්නේ උන් රජවරුන්ට විවිධාකාරයේ සර්විස් සපයා දී , නිලමේකම් ගත් උන් ලෙස වගේ ය.  ඉතින් ඒකට හරියන්නට උන් ‘රජෙක්‘ ගැන ද මවා ගනිති; ඒ පාර්ට් එකට ඇදගන්නා එකා ද ඒ පාර්ට් එක හරියට ම කරන්නට වග බලා ගනී.  ඉතින් බටහිරයන්ට වැනි දියුණු පාර්ලිමේන්තුවක් අපට අහිමි ය.  මේ ඔක්කෝට ම හරියන්නට රටේ ඡන්ද බලය හිමි මහජනයාගෙන්  සැළකිය යුතු පිරිසක් ද ලක්ෂ ගණන් ඇති හෙයින් මේ වැඩ සිදු වෙන්නේ වැඩි බාධාවකින් තොරව ය.  ඉතින්, හරක්ටත් අපහාසයක් ම වන තරම්, තණකොළ ද නොකන මෙවැනි හරක් සමාජයකින්, හරක් පාලකයන්ගෙන් අපට මෙවැන්නක් අපේක්ෂා කළ හැකි ද? බැරි යයි කියා උන්ට පාඩුවේ ඉන්නට ද දිය නොහැක.  අපේ සල්ලි ය! අපේ ජිවිත ය ! බලය හා වගකිම උන් අත ය !

අනිත් අතින් මෙය පාලකයන්ට පමණක්මත් කළ හැකි දෙයක් ද නොවෙයි.  සමාජය මෙහෙයවන, මේ අපරාධවලට ද සැළකිය යුතු වගකිමක් දැරිය යුතු ආගමට ද මේ ගැන නික්ම පැත්තකට වී ඉන්නට ඉඩ දිය නොහැකි ය.  නිකම් පැත්තකට වි ඉන්නවාටත් වඩා දරුණු දෙයකි දැන් එතැනින් වන්නේ.  වෙනස පටන් ගත යුත්තේ එතැන ඉඳන් ම ය.

සුචරිතවත් ලංකාවක් උදෙසා එල්ලුම් ගහේ පිහිට පතන පිරිස අතුරින් වැඩි දෙනා බෞද්ධයන් බව පෙනෙයි.  එහෙත් බෞද්ධයන් පමණක් නොවේ.  එසේ වුව ද, මා කුඩා කාලයේ සිට ම හොඳින් ම දන්නා කරුණු සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් ඇත්තේ බෞද්ධ ඉගැන්වීම් තුළ නිසා, බුදුන්ගේ හා පන්සලේ ඉගැන්වීම් අතර වෙනස නිතර මා අත්විඳින්නක් නිසා, ඒ ඇසුරෙන් යමක් කියන්නට උත්සාහ කරන්නෙමි.

අපේ බෞද්ධයෝ දැන් හරිම සක්‍රීය ය.  උදේ හවස පිරිත් අහන, බෝධි පූජා පවත්වන, පන්සිල්-අටසිල් ගන්නා සැදැහැවත් ජනතාවකි.  එහෙත් කුමන මොහොතක හෝ ඔවුන් ට බුදුන් ව ඇසී ඇත් ද?   අපරාධ වැළැක්වීමට දඩුවම් කිසිම උදව්වක් නොකරන බව සූත්‍ර පිටකයේ කූටදත්ත සූත්‍රය පෙන්වා දෙයි.  ප්‍රමාණවත් ආදායමක් ඇති විට මිනිසුන්ට සොරකමට, බොරු කිමට, හිංසනයට යොමු වීමට හේතුවක් නැති බව එය පවසයි.  එවිට සාමකාමී රටක් සෑදෙන බව ඒ මගින් පෙන්වා දෙයි.  ලිංගික අපරාධ සම්බන්ධයෙන් මේ අදාල වන්නේ කෙසේදැයි කෙනෙක් ඇසිය හැක.  බැලු බැල්මට සම්බන්ධයක් නැති බව පෙනුන ද, ප්‍රමාණවත් ආර්ථික වර්ධනයක්, හැම අංශයකම වර්ධනයකට මඟ පාදන බව අනුවනම් එහි ඍජු සම්බන්ධයක් ඇත.  බොදුනු යතිවරුනි, මේ ටිකත් දෙසනු මැනවි; බොදුනුවනි, ඒ හාමුදුරුවන්ගේ, මේ හාමුදුරුවන්ගේ නොව බුදුහාමුදුරුවන්ගේ බහටත් සවන් දෙනු මැනවි; තේරුම් ගන්නට තැත් කරනු මැනවි; ඒ අනූව ක්‍රියා කරනු මැනවි.  අනෙක් ආගමිකයන්, නිර්-ආගමිකයන් කාටත් මෙසේ ක්‍රියා කරන්නට පුළුවන.  දැනට ඒ වෙනුවෙන් පුරෝගාමිත්වය දරන්නන් වෙතොත් අගය කළ යුත්තෙමු; දිරි දිය යුත්තෙමු.

සේයා....ඒ අහිංසක සමනළිය මරා දමනු ලැබිය; කෙලසා, හප කොට මරා දමනු ලැබීය.  අපි කවුරුත් අඩු-වැඩි වශයෙන් වුවත් ඊට වග කිව යුතු නොවෙමු ද?  ඒ සේයා ගැන පමණක් නොවේ.  එසේ විනාශ කර දමනු ලැබූ තවත් අය ද වෙනුවෙනි;  තව මොහොතකින් විනාශවෙන්නට ඉඩ හැර ඇති තවත් අය වෙනුවෙනි.

ඒ වැළැක්වීමට අපට ඇති මඟ එල්ලුම් ගසේ නැති බවත්, එල්ලුම් ගස ඇත්ත විසඳුම මඟ හැරීමක් පමණක් බවත්  තේරුම් ගෙන අපේ ඇත්ත වගකීම ඉටු කරමු.                                  

Sunday, September 20, 2015

හිමිදිරියේ සේයාවක් ව, හිමිදිරියේ ම මැකී ගිය සේයා....

සේයා..., නුඹ තවමත් පුංචිම පුංචි දැරිවියකි.  නුඹේ කටේ කිරි සුවඳවත් තවම ගිහින් නැතිවා ඇති.  මොන්ටිසෝරියේ දි යහළුවන් සමග නුඹ දුව පැන ඇවිදින්න ඇති; සෙල්ලම් කරන්න ඇති;සින්දු කියන්න ඇති; දඟ වැඩ කරන්න ඇති.  ග‍ෙදර දී අම්ම තාත්තත් එක්ක මොන්ටිසෝරි යාළුවන් ගැන, කරපු දේවල් ගැන ගිරවියක් ගැන ගිරවියක් වගේ දොඩවන්න ඇති.  ගෙදර දී කරපු දඟ වැඩවලට අම්මගෙන් බැණුම් අහන්න ඇති. නංගියා එක්ක රංඩු කරල ගුටි දෙක-තුනක් කන්නත් ඇති; ගුටි කාල පස්සේ අඬන්නත් ඇති.  තාත්තාට සියළු කේලම් කියන්න ඇති.  තාත්තාගේ ඇකයට පැන නුඹ හුරතල් වෙන්න ඇති.  තව දින කිහිපයකින් ලබන අවුරුදු පහක උපන්දිනේ ගැන ඇඟිලි ගනිමින් බලා ඉන්න ඇති.  නමුත්, නුඹත් නොසිතූ මොහොතක,  නුඹ සුන්දර යයි සිතූ  මේ ලෝකයෙන් යන්න වෙන්න ඇති.

සේයා, නුඹේ අතුරුදන් වීමත් සමඟ නුඹ වෙනුවෙන් මගේ සිතට ආ සිතුවිලියි මේ.

බාගෙට නිම කරන ලද නිවාසයේ නිදා සිටි මේ සිඟිත්තිය පැහැර ගෙන යද්දී ඇය සමඟ නිදා සිට මවවත් ඒ බව නොදත්තා ය.  වෙලාව රාත්‍රී දොළහත් පසු වී ඇත.  ‘‘දුව ආච්චිලා ළඟට නිදාගන්න යන්න ඇති. වෙනදටත් යනවනේ ඉතින්...“ අම්මාත්, තාත්තාත් ළඟ නැති දුව ගැන එසේ සිතා සෑහීමට පත් වූවා ලු.  වෙනදාටත් එසේ වී ඇති අත්දැකීම් ඔවුන් ඒ ගැන කලබල කිරීමෙන් වැළක්වීය.  ඒ වෙලාවේ තම ආදරණීය මද්දුම දෝණිය කුරිරුතර කාමාතුරයෙකුගේ අතින් කෙලසී,  තැලී පොඩි වී යමින් අසරණ ව සිටින බව නොදැන ඔවුන් සුවසේ නිදන්න ඇති.

නිදි දෙව් දුවට තුරුළු ව සිටි පුංචි සේයා, නිදි ඇඳෙන් ඔසවා ගෙන යද්දී ඇය සිතන්නට ඇති අම්මා නැත්නම් තාත්තා ඇය ව ඔසවා ගෙන යන බවක්... ඒත් අතරමඟ දි සිඟිති දැරිවිය ඇහැරෙන්න ඇති.  තමන් ව ඔසවා ගෙන යන්නේ තමන්ගේ ආදරණිය අම්මා හෝ තාත්තා නොවන බව දැනුනා ම ඇගේ පුංචි මොළොක්  සිතට කුමන දෙයක්නම් දැනෙන්නට ඇත්ද ?  ඇගේ පුංචි හදවත කොතරම් බියකින් වේගයෙන් ගැහෙන්නට ඇත්ද?  ඇය කෑ මොර දෙන්නට ඇති; සමහර විට අඬන්නත් ඇති.  ඒත් ඒ රෑ ජාමයේ, මේ ගම්මානයේ කෑලි කැපිය හැකි අඳුර මේ අසරණියගේ විලාපයේ හඬ ගිල ගන්නට ඇති.  ඒ වැනි අන්ධකාර බිහිසුනු රැයක දෙවිවරුත් සිහින දකිමින්, සුව සේ නිදන්නට  ඇති, ඒ අඳෝනා නොඇසෙන තරම් දුර ඈත දෙව්ලොවක.

මේ හැම දෙයින් ම  ඇති තරමට ඉඩහසර ලද ඒ කාමාතුරයා මේ සිඟිත්තියව කොහේ හෝ ඇද ගෙන ගොස් කෙලසන්නට ඇති.  මහා සමාජයක් විසින් නිර්මානය කළ ඒ අසහනය, හීනමානය මේ අසරණ සිඟිත්තිය යට කොට තලා දමන්නට ඇති.  දෙවියනේ...., ඇයට තවම අවුරුදු පහක්වත් ලබල නැහැ; ඉස්කෝලේ පළමු වසර කියන එකවත් ඇය හඳුනන්නේවත් නැහැ.  මේ පුංචි මල් කැකුලිය ඒ කාමාතුර යකඩ හස්තයට යට වි තැළී පොඩි වී යද්දී, ඒ ජඩ පිරිමිකමෙන් කෙලෙසෙන විට ඇය ගේ සිතේ කුමක් ඇඳෙන්නට ඇත්ද ?  ඇය කෑ ගසා අඬන්නට ඇති; විලාප දෙන්නට ඇති.  ගැළ වි යන්නට ඒ සිඟිති සිරුරේ මුළු වෙර යොදා දැඟලූවත් ඒ කාමාතුරයාගේ ග්‍රහනය ඉදිරියේ තැළී පොඩි වී යන්නට ඇති.  ඇගේ සියුමැලි අතකුත් ඒ හැදි දැඩි අතින් කඩා දැමෙන්නට ඇත්තේ ඒ වෙලාවේ වෙන්න ඇති...  දෙවියනේ, ඔබේ පිහිට ඉල්ලා කොතෙක් කෑමොර ගෑවත් හඬ ගා කියන්නට නොහැකි වු ඒ වේදනාව ඔබේ සිතින් හරි අත්විඳින්නට ඔබට හැකිද?  කඳුළින් තෙතබත් ව, වේදනාවෙන් ඇඹරී ගිය ඒ අසරණියගේ මුහුණ තිස් තුන් කෝටියක් අතරින් එකම එක දෙවි කෙනෙකුටවත් නොපෙනී ගියේ කාගේ වරදකින් ද ?

සැප්තැම්බර් 13 වෙනිදා........

ඊයේ දවසත් ගම්වාසින්ගේ ද උදව් ඇතිව සෝදිසි කළ පොලීසියට දැරිය සොයා ගන්නට නොහැකි වුණා ලු.  අද, සැප්තැම්බර් 13,    මේ ලෝකයේ මනුස්සකම් ගැන අන්තිම බලාපොරොත්තුවත් එක්ක ප්‍රාණය ඉවත් ව ගිය ඇගේ  සිඳ බිඳ දැමූ සිඟිති සිරුර, නිවසට මිටර් 300ක් එහායින් ඇළ මාර්ගයක් අසළ දී සොයා ගැනුනා.  ඇය අන්තිම වරට ඇඟ ලා සිටි පුංචි බැනියම් කඩින් ඇයගේ ගෙල සිර කර තිබුණා.   ඒ පුංචි සිඟිත්තියගේ ජිවිතය ගැන තිබුණු අන්තිම බලාපොරොත්තුවත් බොඳ වෙමින් නැගුන අඳෝනා රුපවාහිනියෙන් බලා සිටි අපේ උගුරු ද වියළී ගොස් හිර වී යනු දැණුනා.  

මම මෙය ලියමින් සිටින විට පශ්චාත් මරණ පරීක්ෂණයවත් අවසන් නැහැ.  මේ වන තුරුත් ඒ අපරාධකරුවා ද නිදැල්ලේ.  සමහර විට ඒ දුක බෙදාගනිමින් ඉන්නා ගම්වාසින් අතර ම ඔහුත් ඇති.  අපරාධකරුවන්ට දැඩි දඬුවම් ඉල්ලා සිටිමින්,  බල කරන පිරිස අතරත් එවැනි පිරිස් නැතැයි සහතික විය හැක්කේ කෙසේද ?

‘‘මුන් වගේ උන්ට දෙන්න ඕන මරණ දඬුවමම තමයි“

“මුංව ප්‍රසිද්ධියේ එල්ලා මරන්න ඕන“

“මුංට ගල් ගහල මරන්න ඕන“

“ අර සෞදි අරාබියේ තියෙන දඬුවම් මේ රටටත් ගේන්න ඕන“ 

හතර වටින් මිනිස්සුන්ගේ කෝපය, වෛරය පිටාර ගලයි; මටත් එලෙසින් දැනෙයි. මෙවැනි අපරාධකරුවන්ට ලිහිලක් දීම යනු එවැනි අපරාධවලට ලිහිලක් දීම ම නොවේද ?   අපරාධකාරී දඩයම් බිමකට මේ වැනි තවත් අහිංසකයන් විවෘතව පාවා දීමක් නොවන්නේ ද ?  ඒ මගේ හදවතේ එක පැත්තකි.  මගේ හදවතේ අනෙක් පැත්තෙන් ඇසෙන්නේ දැඩි දඬුවම් මේ කෘෘරත්වයට වැටක් බදී ද යන්නයි.  ඒවා ක්‍රියාත්මක වෙනවා රටවල මේ වැනි අපරාධ නතර වි ඇත්ද ? නැත්නම් එවැන්නක ඇති ඵලය කුමක්ද ? 

මගේ අධ්‍යාපනය, මගේ ආගම ආදි කිසිවකින් විපිළිසර මගේ හදවතට පිළිතුරක් නැත.  මේ, මේ වර්ගයේ පළමු අපරාධය නොවෙයි; නිසැකව ම අවසානය ද නොවෙයි.  දිගින් දිගට ම මේවා සිදු වෙමින් යාවි.  මේ අපරාධ බල බලා මිනිස්සුත් හැමදාම හුල්ලාවි; අපරාධකාරයන්ට ශාප කරාවි; එල්ලුම් ගහ ගේන්න කියාවි.  ඔබත්, මාත් අපේ සුපුරුදු වැඩවලට යාවි.  තව තව සිදුවිම් අතර ආයෙත් මේවා අමතක වෙලා යාවි.  මේ විදියට මේවාත් සාමාන්‍යකරණය වෙලා යාවි.  

ආදරණිය සේයා....., ළහිරු රැස් පතිත වෙන ඒ හිමිදිරියේ සුරතල්, සුන්දර සේයාවක් ම වු නුඹ, මහදවල් ගනදුරක සැඟ වී ගොසිනි.  නැත; නුඹ ද, මා ද අයත් වන මේ සමාජයේ කුරිරුකම තුළ සඟවාලනු ලැබ ඇත.  උන් නුඹ ගිලගත්තේ ය.  තවමත් ජිවත් ව‍ෙන්න පෙරුම් පුරන සේයලා අපි අතර සිටිති; නුපන් සේයලා ද එසේ ම ය.  ඔවුන්ට ද සේයාවක් සේ මැකි යන්නට ඉඩ හැර මේ ගනඳුර සුරකිමු ද? ගනඳුර දුරු කරන්නට හැක්කේ කෙසේද? අපට ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද ?            


    

    

                    

Wednesday, September 9, 2015

මට හමු වුන දුයිෂෙන් (දෙවෙනි කොටස)


 
ඔහු පාසලට ආවේ බස්රථයෙන්.  පොඩි කාලේ ඉඳල ම අපේ ගුරුවරු ඉස්කෝලෙට ඇතුල් වෙන්නේ තමන් ගේ බෑග් හා අනෙක් බඩු-මූට්ටු Staff Room එකට නැත්නම් පංතියට උස්සන් ගිහින් තියන්න ශිෂ්‍යයන්ට භාර කරමින්.  පස්සේ පස්සේ අපි මේ වැඩේ ට හොඳට ම හුරු වුණා.  ගුරුවරු කියන්නත් කළින් ම ඔවුන් ගේ බෑග් අපේ අතට ගන්නේ , නැත්නම් පස්සේ හොඳ බැණුමක් අහන්න වෙන බව අත්දැකීමෙන් දන්න නිසයි.  ඒත් අපේ Political සර් කවදාවත් ඔහුගේ බෑග්, පොත්-පත් උස්සන් යන්න ළමයින් ට දුන්නේ නැහැ.  ඒ වෙනුවට ඔහු ඉස්කෝලෙට ඇතුල් වුණ තැන ඉඳළ ම කළේ කට පුරා ම හිනා වී Good Morning කීමයි.  දකින හැම ශිෂ්‍යෙයකුට ම ගුරුවරයෙකුට ම, පාසලේ කාර්යාලයේ වැඩ කරන කාර්ය මණ්ඩලයට,අතු ගාන ඇන්ටිට පවා සුභ පතමින් ආ ඔහු ට කිසි ම දිනෙක, කිසි ම උස්-පහත් භේදයක් තිබුනේ නැහැ.  පරණ දිසාපාමොක් චර්යාවන් සියල්ල ම බිඳ දමමින්, අපි සුබපතන්නටත් පෙර ම ඔහු අපි ට “Good Morning පුතේ යයි සුභපැතුවා.
“ඇත්තටම මාර හොඳයි බන් සර්.  මාර නිහතමානී චරිතයක් වගේ ඒ වචන අපේ හදවත පත්ළෙන් ම ඔහු වෙනුවෙන් පැන නැගී ආවා. 
සටහනට සීමා නොවුණ ඔහු දිනෙන් දින අපි ව ප්‍රාෙයා්ගිකයන් කරන්නට සැම විට ම වෙර දැරුවා.  ඒ සඳහා ඔහුගේ ඉගැන්වීම් රටාව මෙහෙයවූවා.  අපේ අධ්‍යාපනය ගැන විතරක් නොවෙයි, අපේ මුළු ජීවිතය ගැන ම ඔහු සොයා බැලුවා.  සුදු ගවුමින් වැසුනු අපේ ජීවිතවල අඳුරු පැතිකඩයන් ගැන ඔහු සොයා බැලුවා.  අපේ ජීවිතවල ගැඹුරට ම එබී බැලුවත් කවදාවත් පෞද්ගලිකත්වයට ඔහු ඇඟිලි ගැසුවේ නැහැ. 
දින-සති-මාස ගෙවෙන කොට අපේ ගුරුවරයා අපට නැතිව ම බැරි සම්පතක් වුණා. අපි හැමෝගෙ ම ජීවිතයේ සුපිරි වීරයා බව ට ඔහු පත් වුණා.  සම්ප්‍රදායයන් කණපිට පෙරලන්න හැමදාමත් ඔහු කළ කථාවන්ට අපි උඩු සිතෙන් අකමැති වුණත්, යටි සිතෙන් ආශා කළා.  ඔහුගේ කෙස් පැළෙන තර්කයන් ට අපි වශි වුණා.  අපි ඔහු ට පුදුමාකාර විදියට ආදරය කරන්නට පටන් ගෙන තිබුණා.  නැහැ; ගුරුවරුන් ව එපා ම වී, හෙම්බත් වි සිටි අපෙන් ආදරය සොරා ගත්තේ ඔහු ම යි.  කවදාවත් ගුරුවරයෙකුට නොකියන අතිශය පුද්ගලික ප්‍රශ්න පවා, පවුලේ දුක් ගින්දර හා බඩගින්න පවා අපි අපේ සර් එක්ක බෙදාගත්තා.  අපේ ප්‍රශ්නවලට ඔහු අවංකව ම මැදිහත් වුණා.  පාසලේ දි විසඳ ගන්න බැරි වුණ ප්‍රශ්ණ ඔහු ළමුන්ගේ ගෙවල්වලට ම ගොස් පුද්ගලිකව ම විසඳා දීමට කටයුතු කළා.  අසනීපයක දි හෝ පාසල් එන්නට බැරි වූ විට, විගසින් ම දුරකථන ඇමතුමකින් විමසන්නේ අපේ ආදරණීය ගුරුවරයා ය.  අපි කාගේ ත් ආදරණීය ම පියා බව ට අපේ මේ ගුරුවරයා පත් වුණා.  කල් යන කොට අපට සර් ව නැතිව ම බැරි වුණා.  අපි ඉස්කොලේ ගිය විගස ම, ඉහළ මාලයේ තිබූ අපේ පංති කාමරයේ බෑග් තියා පහළට දුව එන්නේ අපේ ආදරණීය ගුරුවරයා දකින ආසාවෙන්.  ඉස්කෝලේ ගේට්ටුවෙන් සර් ගේ රුව දුටු ගමන් ම අපි ටක් ගාලා ඒ දිහාට දිව යන්නේ සර් ට Good Morning කියන පළමුවැන්නා වෙන්නයි. එක දවසක් හරි සර් ඉස්කෝලෙ ආපු නැති දවස ට ඒ දවස ම අපිට ඉලව් ගෙයක් වගේ වුණා.  එහෙම දවස් ගෙවී යන්නේ ඔරලෝසුවට ඕනෑ  හැටියට ය.  ඒ දවසට අපි කඩිනමින් එළියට පැන ගන්නේ, පාරේ තියෙන 4n Box එකකින් හරි සර් ට කෝල් කරන බලාපොරොත්තුවෙන්. 
කලෙකට ඉහත දී සිංහල ගුරුවරයා ගේ රුවට පමණක් ආදරය කරපු අපි, මුළු හදවතින් ම අපේ දේශපාලන විද්‍යා ගුරුවරයාට මේ වෙද්දී ආදරය කළා. අපේ සිත් තුළ සුපිරිතම ගුරුවරයා වීම ට අපේ දසුන් සර් ට හැකි වුණා. 
ජාතීන් අතර අසමානතාවයෙන් බේදබින්න වී, අසහනය රජයන සමාජයක සියළු ම ජාතීන් ගේ සමානාත්මකාවය ගැන ඔහු කතා කළා.  ස්ත්‍රීන් ව පුරුෂයා ගේ ආධිපත්‍යෙයන් යට කර ගෙන ඉන්න සමාජයක ස්ත්‍රියගේ සම අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු නියම මනුෂ්‍යයෙකු හැටියට කතා කළා.  සියළු ම ආගම් වලට සමානාත්මතාවයෙන් ඔහු ගරු කළා.  හැම විදියක ම සමානාත්මතාවය ගැන ඔහු පෙනි හිටියා.
අපේ දෑස්වල තිබූ කඩතුරා අයින් කර,අළුත් ඇසකින් සමාජය දෙස බලන්න ට පුරුදු කළේ ඔහු.  මොට වෙච්ච,යාන්ත්‍රික හිත් හදපු ඉස්කෝලේ අළුත් කළේ ඔහු.  දිසාපාමොක් සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කළ ඔහු, අපි ඔහු ගේ ගෝලයන් වීම ඉවසුවේ නැහැ; ඔහු ට අවශ්‍ය වුණේ අභියෝග කරන ශිෂ්‍යෙයක්; කශේරුකා ව කෙළින් තියා ගන්න පුළුවන් ස්වාධීන චරිතයක්.
ඉතින් මේ තත්වය යටතේ ඔහු ට ළං නො වී ඉන්නේ කවුද ?  අපි ඔහු ගේ හුස්මට පවා පෙම් කළා: ඔහු ගේ කට හඬ ට පවා අපි ආශා කළා.  මේ ලෙන්ගතුකම දරා ගන්න බැරි වුණ පිරිසකුත් හිටියා. ඒ  පිරිස අතරේ විදුහල්පතිනියයි, තවත් ගුරුවරුයි අපි ට දොස් කීවා නොසෑහෙන්න.  'ළමයින් ගැන තදින් ඉන්නට අසමත්' යයි කියමින් අපේ සර් ව පංති භාරකාරත්වයෙන් ඉවත් කරන්න ට පවා ඔවුන් ක්‍රියා කළා.  සම්ප්‍රදායිකත්වයේ, සදාචාරයේ රෙද්දෙන් පටු- මන්දමානසිකත්වයේ හෙළුව වසා ගෙන සිටි ඔවුන් මේ ගැඹුරු ලෙංගතුකම ට බය වුණා.  පංති භාරකාරත්වනේ අපේ සර් ව අයින් කරන බව දැන ගන්නට ලැබුණා ම එදා දැනුන හුස්ම හිර කරවන තරම් වේදනාකාරී බව අදටත් අමතක වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ පිරිසට පිංසිද්ධ වෙන්න , එයාලගේ මන්ද මානසික වැට කඩොලු-සීමා-මායිම්-වාරණ-තහංචි නිසා අපේ සමීපත්වය තව තවත් දැඩි වුණා. 


පාසල් කාලය නිමා වුනා.  කාලය ගෙවි ගියා.  මගේ බොහෝ යෙහෙළියන් ඔහුගෙන් ද ඈත් වී ගිහින්.  ඒත්, තවමත් අපි අතර සමීපත්වය දුරස් වි නැහැ. ඒ වෙනුවට දැනෙන්නේ දවසින් දවස ඒ සමීපත්වයන් දැඩි වෙමින් යන බව යි. නිමක් නැති ඒ ආදරය, සප්ත මහා සාගරය තරම් ගැඹුරු යි; සුවිසල්.  ඔහු, මගේ ජිවිතයේ මට හමු වු හොඳ ම ගුරුවරයා පමණක් නොවේ; මා දැන හඳුනා ගත් උත්තරීතර ම මනුෂ්‍යයා ද ඔහු ම වේ.  මා ආදරය උගත්තේ ඔහුගෙනි.  කැපවිම යනු කුමක්දැයි කියා දුන්නේ ඔහු ය. මට කතා කරන්නට කෙනෙක් අවශ්‍ය වන ඕනෑ ම නිමේෂයක දුරකථනයෙන් හෝ ඔහු මා අසල ය.  කිසිඳු අත්වැලක් නොතිබූ මගේ දුප්පත් ජීවිතය ට අත්වැල වූයේ ඔහු ය.  ගුරු ගීතයේ මා හඳුනා ගත් ගුරුවරයා ඔහු ය. ඔහු හැමදාමත් මගේ දුයිෂෙන් වෙයි; මම ඔහු ගේ අල්තිනායි නොවුණත්.                                                               

Wednesday, September 2, 2015

මට හමු වුණ දුයිෂෙන් (පළමු කොටස)


අදටත් මගේ දුකේදීත්, සතුටේදීත් ඔහු මා අසළ ම හිඳියි.  මගේ සියළු දුක් දොම්නස් මා සමඟ බෙදා ගනියි.  අසනීපයකදී සියළු උපස්ථානයන් කරයි.  මගේ දෑසෙන් වැටෙන කඳුළු ආදරයෙන් පිස දමයි.

ඒ පළමු වෙනි හමුවීම මට මෙන්න මේ වගේ මතකයි.

2008 වර්ෂයේ තවත් අළුත් දවසක් උදා වුණා.  O/L වලින් පස්සේ කම්මැලිකමෙන් ගෙවුණ ජීවිතයට ඒක ඇත්තට ම නව ආරම්භයක් වුණා.  ඉතින් අපි හැමෝ ම ජීවිතයේ පළමු වෙනි වතාවට ගොඩක් වේලාසනින් ඉස්කෝලේ ගියා.  මොකද, ඒ තරමට ම අපි කම්මැලිකමෙන් හෙම්බත් වෙලයි හිටියේ.  ආසාවේ බැහැ අළුත් සපත්තු, අළුත් uniforms, අළුත් පොත්-පත් එක්ක ඉස්කෝලේ යන කොට.  ඔක්කෝටමත් වැඩිය, අපි ඉස්කෝලේ ලොකු ම අක්කලා වුණා.  12 Arts පංතියේ දී අපිට වෙනත් ඉස්කෝලවලින් ආපු අළුත් යෙහෙළියන්වත් අඳුන ගන්න ලැබුණා. 
අපේ පංතිය භාර වුණේ පිරිමි ගුරුවරයෙකුට බව අපිට දැනගන්න ලැබුණා.  ඇත්තටම කව්ද සර් ? අපි හැමෝට ම කුතුහලය දැන වූ ප්‍රශ්නය එයයි.  මමයි, මගේ යහළුවොයි හැමෝ ම එක ගුරුවරයෙකු ගැන බලාපොරෝතුවෙන් හිටිය බව රහසක් වුණේ නැහැ.  ඒ සිංහල ගුරුවරයා.  යම් කඩවසම් පෙනුමක් තිබුණ ඔහු ට යටි හිතින් අපි ආශා කළා.  අපේ පංති භාර ගුරුවරයා ඔහු වේ වා යි අපි ප්‍රාර්ථනා කළා. 

නෑ; ඒත් අපේ සිංහල සර් නෙවෙයි ලු අපේ පංතිය භාර ! මගේ යෙහෙළියක් ඇවිත් කීවා.  “කව්ද එහෙනම්? අපි ඇහුවා.  “අර අළුතෙන් ආව තව සර් කෙනෙක් ඉන්නේ දසුන් කියලා. Political කරන්නේ. එයා ලු අපේ පංතිය භාර ව එන්න යන්නේ !  “අයියෝ ! මට නිකම් ම කියවුණා  “එයා ද අප්පා අපේ සර් !  අපි සියල්ලන්ගේ ම හිත් බිඳී ගියා: බලාපොරොත්තු සුන් වුණා. 

“අපෝ, එයානම් හරි borring මට හිතෙන්නේ.  දැන්එහෙනම් අපි ට නිදා ගන්න පුළුවන් ! ෂික් විතරක් ! අපේ සිංහල සර් ව වැටුණානම් කොච්චර හොඳ ද ?  දැන් ඉතින් මොනා කරන්නද ? හිත හදා ගන්නයි තියෙන්නේ           

පංති භාර ගුරුවරයා මදිවට Political Science විෂය භාර ගුරුවරයා ද වූ ඔහු පිළිබඳ ව එදා මට ආශාවක් දැණුනේ ම නැහැ.  කුමන හෝ දෙයක් සිදු වී මෙය නැවත වෙනස් වන්නේ නම් කොච්චර හොඳ  කියලය එදා මම කල්පනා කළේ.  ඊට කළින් කිසි දා අපි ඔහුගෙන් අකුරක් හෝ ඉගෙන ගෙන නැහැ.  එහෙව් ඔහු පිළිබඳ ව ඒ විදියේ අදහසක් මගේ හිත ට ඇතුල් වුණේ කොහොමදැයි මට අදටත් නොතේරෙන කරුණක්.
තවත් එක් සීනුවක් නාද වී අළුත් කාලපර්ච්ඡේදයක් එදා ආරම්භ වුණා.  අපේ අළුත් සර්, අපේ පංතිය භාර සර්, එහෙම නැත්නම් අපේ අළුත් පොලිටිකල් සර් අපේ පංතියට ආවා.  දත් තිස් දෙකම පෙනෙන්නට හිනා වී ගෙනයි සර් ආවේ.  ඔහු ව දැක්කම ඇත්තට ම අපිටත් හිනා නො වී ඉන්න බැරි වුණා.  ඈලි මෑලි ව, කම්මැලිකමෙන් හිටපු අපට පුදුම විදියට ඔහු ව උත්තේජනයක් වුණා.  ඔහු ට ඒ පිළිබඳව නම් මනා හැකියාවක් තියෙන්වා කියලනම් අපිට එදා ම හැඟී ගියා.  අළුත් විදියක්; අළුත් ආරම්භයක්.  මේ දක්වා කිසි ම ගුරුවරයෙක් නොකරපු අළුත් පටන් ගැන්මක්.  හුණු කූරක් අර ගෙන ඔහු යම් දෙයක් සටහන් කරන බව පෙණුනා.  මොකක්ද ඇත්තට ම එයා ලියනවා ඇත්තේ ? අපි කථා වුණා.  ‘දසුන් කහඳවෙල හි...හි...! ඒක තමයි එයා ගේ නම !මට හිනා ආවා.  මගේ යෙහෙළිය මට රහසින් කිව්වා “එයා වගේම නමත් හරි අමුතුයි නේද ! එයාටත් හිනා. “දන්නවද ළමයි, මේ කව්ද කියලා ? අපි “ඔව් කිවා. ඒත් නොදන්න අළුත් ළමයිනුත් එතැන හිටියා.  “දැන්, ඉස්සරහ දි මාව හොයා ගන්න ඕන වුණොත්, මේන්න මේ වචන ටික පාව්ච්චි කරන්න ඔහු ව හඳුන්වා දුන්නේ එහෙමයි.


ඊළඟට ඔහු හැමෝගෙන් ම ඇහුවා අපි දේශපාලන විද්‍යා විෂයය තෝරගත්තේ ඇයි කියලා.  මම හිතුවා දැන්නම් මට හොඳ බැනුමක් අහගන්න වෙයි කියලා.  A/L Clz එකට දාන application එකේ කොහොම හරි subjects තුනක් ලියන්න ඕන නිසා, තෝරගන්න එකක් නැතිකමටයි ඇත්තට ම මම Political Science තෝරගත්තේ.  දැන් ඉතින් මුළු පංතිය ම ඉස්සරහ කොහොමද ඒක කියන්නේ !  මගේ වාරය ආවා ! මට එක පාරට ම කියවුණා, “දේශපාලන විද්‍යාව ගැන මම කිසිම දෙයක් නොදන්න නිසා ම ඒ ගැන ඉගෙන ගන්න ආසාවක් ඇති වුණා කියලා.  “ඒකත් හොඳ උත්තරයක් ඔහු කීවා.  එදා දවස එහෙමම ගෙවී ගියා.  අපේ සුපුරුදු දෛනික පාසල් ගමන එදා දවසින් ආරම්භ වුණා.