Wednesday, September 9, 2015

මට හමු වුන දුයිෂෙන් (දෙවෙනි කොටස)


 
ඔහු පාසලට ආවේ බස්රථයෙන්.  පොඩි කාලේ ඉඳල ම අපේ ගුරුවරු ඉස්කෝලෙට ඇතුල් වෙන්නේ තමන් ගේ බෑග් හා අනෙක් බඩු-මූට්ටු Staff Room එකට නැත්නම් පංතියට උස්සන් ගිහින් තියන්න ශිෂ්‍යයන්ට භාර කරමින්.  පස්සේ පස්සේ අපි මේ වැඩේ ට හොඳට ම හුරු වුණා.  ගුරුවරු කියන්නත් කළින් ම ඔවුන් ගේ බෑග් අපේ අතට ගන්නේ , නැත්නම් පස්සේ හොඳ බැණුමක් අහන්න වෙන බව අත්දැකීමෙන් දන්න නිසයි.  ඒත් අපේ Political සර් කවදාවත් ඔහුගේ බෑග්, පොත්-පත් උස්සන් යන්න ළමයින් ට දුන්නේ නැහැ.  ඒ වෙනුවට ඔහු ඉස්කෝලෙට ඇතුල් වුණ තැන ඉඳළ ම කළේ කට පුරා ම හිනා වී Good Morning කීමයි.  දකින හැම ශිෂ්‍යෙයකුට ම ගුරුවරයෙකුට ම, පාසලේ කාර්යාලයේ වැඩ කරන කාර්ය මණ්ඩලයට,අතු ගාන ඇන්ටිට පවා සුභ පතමින් ආ ඔහු ට කිසි ම දිනෙක, කිසි ම උස්-පහත් භේදයක් තිබුනේ නැහැ.  පරණ දිසාපාමොක් චර්යාවන් සියල්ල ම බිඳ දමමින්, අපි සුබපතන්නටත් පෙර ම ඔහු අපි ට “Good Morning පුතේ යයි සුභපැතුවා.
“ඇත්තටම මාර හොඳයි බන් සර්.  මාර නිහතමානී චරිතයක් වගේ ඒ වචන අපේ හදවත පත්ළෙන් ම ඔහු වෙනුවෙන් පැන නැගී ආවා. 
සටහනට සීමා නොවුණ ඔහු දිනෙන් දින අපි ව ප්‍රාෙයා්ගිකයන් කරන්නට සැම විට ම වෙර දැරුවා.  ඒ සඳහා ඔහුගේ ඉගැන්වීම් රටාව මෙහෙයවූවා.  අපේ අධ්‍යාපනය ගැන විතරක් නොවෙයි, අපේ මුළු ජීවිතය ගැන ම ඔහු සොයා බැලුවා.  සුදු ගවුමින් වැසුනු අපේ ජීවිතවල අඳුරු පැතිකඩයන් ගැන ඔහු සොයා බැලුවා.  අපේ ජීවිතවල ගැඹුරට ම එබී බැලුවත් කවදාවත් පෞද්ගලිකත්වයට ඔහු ඇඟිලි ගැසුවේ නැහැ. 
දින-සති-මාස ගෙවෙන කොට අපේ ගුරුවරයා අපට නැතිව ම බැරි සම්පතක් වුණා. අපි හැමෝගෙ ම ජීවිතයේ සුපිරි වීරයා බව ට ඔහු පත් වුණා.  සම්ප්‍රදායයන් කණපිට පෙරලන්න හැමදාමත් ඔහු කළ කථාවන්ට අපි උඩු සිතෙන් අකමැති වුණත්, යටි සිතෙන් ආශා කළා.  ඔහුගේ කෙස් පැළෙන තර්කයන් ට අපි වශි වුණා.  අපි ඔහු ට පුදුමාකාර විදියට ආදරය කරන්නට පටන් ගෙන තිබුණා.  නැහැ; ගුරුවරුන් ව එපා ම වී, හෙම්බත් වි සිටි අපෙන් ආදරය සොරා ගත්තේ ඔහු ම යි.  කවදාවත් ගුරුවරයෙකුට නොකියන අතිශය පුද්ගලික ප්‍රශ්න පවා, පවුලේ දුක් ගින්දර හා බඩගින්න පවා අපි අපේ සර් එක්ක බෙදාගත්තා.  අපේ ප්‍රශ්නවලට ඔහු අවංකව ම මැදිහත් වුණා.  පාසලේ දි විසඳ ගන්න බැරි වුණ ප්‍රශ්ණ ඔහු ළමුන්ගේ ගෙවල්වලට ම ගොස් පුද්ගලිකව ම විසඳා දීමට කටයුතු කළා.  අසනීපයක දි හෝ පාසල් එන්නට බැරි වූ විට, විගසින් ම දුරකථන ඇමතුමකින් විමසන්නේ අපේ ආදරණීය ගුරුවරයා ය.  අපි කාගේ ත් ආදරණීය ම පියා බව ට අපේ මේ ගුරුවරයා පත් වුණා.  කල් යන කොට අපට සර් ව නැතිව ම බැරි වුණා.  අපි ඉස්කොලේ ගිය විගස ම, ඉහළ මාලයේ තිබූ අපේ පංති කාමරයේ බෑග් තියා පහළට දුව එන්නේ අපේ ආදරණීය ගුරුවරයා දකින ආසාවෙන්.  ඉස්කෝලේ ගේට්ටුවෙන් සර් ගේ රුව දුටු ගමන් ම අපි ටක් ගාලා ඒ දිහාට දිව යන්නේ සර් ට Good Morning කියන පළමුවැන්නා වෙන්නයි. එක දවසක් හරි සර් ඉස්කෝලෙ ආපු නැති දවස ට ඒ දවස ම අපිට ඉලව් ගෙයක් වගේ වුණා.  එහෙම දවස් ගෙවී යන්නේ ඔරලෝසුවට ඕනෑ  හැටියට ය.  ඒ දවසට අපි කඩිනමින් එළියට පැන ගන්නේ, පාරේ තියෙන 4n Box එකකින් හරි සර් ට කෝල් කරන බලාපොරොත්තුවෙන්. 
කලෙකට ඉහත දී සිංහල ගුරුවරයා ගේ රුවට පමණක් ආදරය කරපු අපි, මුළු හදවතින් ම අපේ දේශපාලන විද්‍යා ගුරුවරයාට මේ වෙද්දී ආදරය කළා. අපේ සිත් තුළ සුපිරිතම ගුරුවරයා වීම ට අපේ දසුන් සර් ට හැකි වුණා. 
ජාතීන් අතර අසමානතාවයෙන් බේදබින්න වී, අසහනය රජයන සමාජයක සියළු ම ජාතීන් ගේ සමානාත්මකාවය ගැන ඔහු කතා කළා.  ස්ත්‍රීන් ව පුරුෂයා ගේ ආධිපත්‍යෙයන් යට කර ගෙන ඉන්න සමාජයක ස්ත්‍රියගේ සම අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු නියම මනුෂ්‍යයෙකු හැටියට කතා කළා.  සියළු ම ආගම් වලට සමානාත්මතාවයෙන් ඔහු ගරු කළා.  හැම විදියක ම සමානාත්මතාවය ගැන ඔහු පෙනි හිටියා.
අපේ දෑස්වල තිබූ කඩතුරා අයින් කර,අළුත් ඇසකින් සමාජය දෙස බලන්න ට පුරුදු කළේ ඔහු.  මොට වෙච්ච,යාන්ත්‍රික හිත් හදපු ඉස්කෝලේ අළුත් කළේ ඔහු.  දිසාපාමොක් සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කළ ඔහු, අපි ඔහු ගේ ගෝලයන් වීම ඉවසුවේ නැහැ; ඔහු ට අවශ්‍ය වුණේ අභියෝග කරන ශිෂ්‍යෙයක්; කශේරුකා ව කෙළින් තියා ගන්න පුළුවන් ස්වාධීන චරිතයක්.
ඉතින් මේ තත්වය යටතේ ඔහු ට ළං නො වී ඉන්නේ කවුද ?  අපි ඔහු ගේ හුස්මට පවා පෙම් කළා: ඔහු ගේ කට හඬ ට පවා අපි ආශා කළා.  මේ ලෙන්ගතුකම දරා ගන්න බැරි වුණ පිරිසකුත් හිටියා. ඒ  පිරිස අතරේ විදුහල්පතිනියයි, තවත් ගුරුවරුයි අපි ට දොස් කීවා නොසෑහෙන්න.  'ළමයින් ගැන තදින් ඉන්නට අසමත්' යයි කියමින් අපේ සර් ව පංති භාරකාරත්වයෙන් ඉවත් කරන්න ට පවා ඔවුන් ක්‍රියා කළා.  සම්ප්‍රදායිකත්වයේ, සදාචාරයේ රෙද්දෙන් පටු- මන්දමානසිකත්වයේ හෙළුව වසා ගෙන සිටි ඔවුන් මේ ගැඹුරු ලෙංගතුකම ට බය වුණා.  පංති භාරකාරත්වනේ අපේ සර් ව අයින් කරන බව දැන ගන්නට ලැබුණා ම එදා දැනුන හුස්ම හිර කරවන තරම් වේදනාකාරී බව අදටත් අමතක වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ පිරිසට පිංසිද්ධ වෙන්න , එයාලගේ මන්ද මානසික වැට කඩොලු-සීමා-මායිම්-වාරණ-තහංචි නිසා අපේ සමීපත්වය තව තවත් දැඩි වුණා. 


පාසල් කාලය නිමා වුනා.  කාලය ගෙවි ගියා.  මගේ බොහෝ යෙහෙළියන් ඔහුගෙන් ද ඈත් වී ගිහින්.  ඒත්, තවමත් අපි අතර සමීපත්වය දුරස් වි නැහැ. ඒ වෙනුවට දැනෙන්නේ දවසින් දවස ඒ සමීපත්වයන් දැඩි වෙමින් යන බව යි. නිමක් නැති ඒ ආදරය, සප්ත මහා සාගරය තරම් ගැඹුරු යි; සුවිසල්.  ඔහු, මගේ ජිවිතයේ මට හමු වු හොඳ ම ගුරුවරයා පමණක් නොවේ; මා දැන හඳුනා ගත් උත්තරීතර ම මනුෂ්‍යයා ද ඔහු ම වේ.  මා ආදරය උගත්තේ ඔහුගෙනි.  කැපවිම යනු කුමක්දැයි කියා දුන්නේ ඔහු ය. මට කතා කරන්නට කෙනෙක් අවශ්‍ය වන ඕනෑ ම නිමේෂයක දුරකථනයෙන් හෝ ඔහු මා අසල ය.  කිසිඳු අත්වැලක් නොතිබූ මගේ දුප්පත් ජීවිතය ට අත්වැල වූයේ ඔහු ය.  ගුරු ගීතයේ මා හඳුනා ගත් ගුරුවරයා ඔහු ය. ඔහු හැමදාමත් මගේ දුයිෂෙන් වෙයි; මම ඔහු ගේ අල්තිනායි නොවුණත්.                                                               

12 comments:

  1. දුයිෂෙන් ගැන නම් අසා ඇති මුත්, කියවා නැත. ඔබ ලියා ඇති කතාව නම් සිත් ගත්තා. අපට උසස් පෙළ ව්‍යවහාරික ගණිතය උගන්වන්නට ආ උපුල් සුලෝචන සිහිවුණා. පොරත් මුල් දවසේම මගේ ප්‍රසාදය දිනා ගත් ගුරුවරයෙක්.

    ReplyDelete
    Replies
    1. එහෙම ගුරුවරු තවත් ඉන්න බව දැනගන්න ලැබීම සතුටුයි. ඇත්තටම එහෙම අය ගොඩක් ඕන. ‘ගුරුගීතය‘ පොතත් කොහොම හරි හොයා ගෙන කියවගන්න.

      Delete
  2. ඔබේ අඩවිය ඇස ගැටුණේ අදයි. අපූරු ලියැවිල්ලක්. කලකට ඉහත දී මගේ බ්ලොග් අඩවියේත් මේ වගේ කතාවක් මං ලිව්වා. මෙන්න ඒක. මේ එවන් ගුරු පියෙකු ගැන මා ලියු සටහනකි ගුරු ගිතයට නව අරුතක්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි ! දිගට ම එන්න. ඔබගේ ලිපියත් කියෙව්වා. මගේ ගුරුවරයා දුයිෂෙන් වගේමයි. නිල උපහාර උත්සව, ප්‍රශස්ති වගේ ඒවා ඔහු සැළකුවේ පිළිකුල් සහගත කරදර ලෙසයි.

      Delete
  3. හරිම අපූර්ව සටහනක්. ගුරු ගෞරවය බොහොම සීග්‍රයෙන් වියැකීයන වර්තමාන සමාජයේ ඔබේ සටහන ඉතා අනර්ඝයි. පොඩි දෙයක් කියන්නද තරහ වෙන්නෙ නැත්නම්..ඡේද වෙන් කරල ලියන්න බැරිද මීට පස්සෙ? අපි ඇවිල්ල ඔයාගෙ සර්ටත් වඩා වයසක කට්ටිය....ඇහැට අමාරුයි..:)

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න ඕන....ගොඩාක් ස්තූතිවන්ත වෙනවා, එහෙම අමාරුවෙන් වුණත් කියවීම ගැන; ඊටත් වඩා ඒ ගැන විවෘත ව අදහස් දැක්විම ගැන.

      පෝස්ට් එක පැහැදිලි විම සඳහා ලොකු අකුරක් පාව්ච්චි කරන්න ටුයි කරනවා නිතරම.

      ඡේද කැඩීම ගැන ඔබේ අදහසත් හොඳ යෝජනාවක්. ඒකත් හතේ තියා ගන්නම්.

      Delete
  4. මෙවන් ගුරුවරුන්ට කළ හැකි උතුම්ම උපහාරය නම් ඔබගේ ජීවිතයේ හමුවන කිහිපදෙනෙකුට හෝ ඔබ දුයිෂෙන් කෙනෙකු වීමයි.

    ReplyDelete
    Replies
    1. මම එහෙම වෙන්න උත්සාහ කරනවා. හැබැයි, ඔහු තරමට ම මට ඒක කරන්න පුළුවන් වේ දැයි සැකයි.හැම දෙයක් ම එයා කළේ පුදුමාකාර ආදරයකින්; සෙනෙහසකින්.

      Delete
  5. ඔන්න මාත් ආවා අඩවිය පැත්තේ..

    ලියවිල්ල නම් බොහොම අගෙයි..

    කතාව බොහොම ලස්සනයි.

    මීට ටික කාලෙකට කලින් අයිටීඑන් එකේ ගිය "ඇහිපිල්ලමක් යට " නාට්‍යය ආපහු සිහි වුනා. ඒ ටෙලිනාට්‍ය හදලා තියෙන්නෙත් ගුරු ගීතය පොත ඇසුරු කරගෙන.

    ----------

    ප.ලි.
    මචෝ , බ්ලොගේ ඩිසයින් එක තව ටිකක් හදහන්. බ්ලොග් ෆලොවර් ගැජට් එකත් එල්ලහන්. එතකොට උඹට අපිට හැමෝටම ලේසියි සයිබර් නෑදෑ කම තියාගෙන ඉන්න...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් තෑන්ක්ස් ! දිගට ම එන්න. ෆලෝවර් ගැජට් එක එල්ලන්න ට්‍රයි කළා. මීට කලිනුත් එහෙම යෝජනාවක් ඇවිත් තිබුණා. ඒත් මේ පාරත් ටෙක්නිකල් ෆේලියර් එකක් ද මන්දා. මගේ තාක්ෂණික දැණුමේ දුප්පත්කම අඩු කර ගන්න වෙන්නේ මේ වගේ ට්‍රයි කරමින් තමයි. මඟපෙන්විම් හැම එකක් ගැනමත් ගොඩාක් තෑන්ක්ස් !

      Delete
  6. නියම ලියවිල්ලක්...... අද කාලයේ එවන් ගුරුවරුන් අඩුයි........... එවන් ගුරුවරු සිටියත් ඔවුන්ට නිසි ගෞරවය ලබා දෙන සිසුන්ද අඩුයි...............
    http://hudekalasithuwili.blogspot.com/

    ReplyDelete
  7. මගේ ගුරුවරයා හැම වෙලාවේ ම වගේ හුදෙක් ‘ගෞරවය‘ පිටුදැක්කා. ඔහු කීවේ ‘ගුරු ගෞරවය‘ වගේ සංකල්ප අපි අතර ආදරය විනාශ කරන හයරාකිකල් දෙයක් කියලයි. ඒ වෙනුවට ආදරය බෙදා ගන්න සම්ප්‍රදායයක් හදාගත්තොත්, එකිනෙකාට ගරු කිරිම ඒක ඇතුළේ නිකම් ම සිදු වෙන බව ඔහු පැහැදිලි කළා. ඔබ කියන කතාව ඇත්ත. මට දැනෙන හැටියට එහෙම වෙලා තියෙන්නේ අපේ සමාජයේ එහෙම ආදරය ෂෙයාර් කරගන්න සම්ප්‍රදායයකට ඉඩ ඇති සංස්කෘතියක් නැති නිසයි.

    ReplyDelete