Sunday, August 2, 2015

අශාරි 'නරක' තරමට සමුද්‍රා 'හොඳ' ද ?

අද මා ඔබට කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.  මගේ හිතේ ගැටළුවක් මතු වෙල තියෙනවා; ඒ ‘මිත්‍රත්වය‘ ගැන. 

පාසල් ජිවිතය කාලයේ ඉඳල ම මේ වෘත්තිය ජීවිතය කාලය දක්වාමත් මාත් එක්ක එකට ගත කරන යෙහෙළියන් දෙන්නෙක් ඉන්නවා.  එකට කන-බොන, දුක-සැප බෙදාගන්න, එකට ඉගෙන ගත්තු, දැන් එකට රස්සා කරන යෙහෙළියෝ දෙන්නෙක්.  එක් කෙනෙක් අශාරි; අනිත් කෙනා සමුද්‍රා.  ඇත්තට ම ඉස්කෝලෙ කාලේ අපි තුන් දෙනා අතරේ පට්ට fit එකක් තිබුණේ නෑ එහෙමට; ඒත් දැන් අපේ කාර්යාල වේලාවෙන් වැඩි හරියක් එකටමයි ගත වෙන්නේ.  ගොඩක් ළඟින් ආශ්‍රය කරන කොට, කාලයක් ගත වෙන කොට ඒ දෙන්නගේ පැහැදිලි වෙනස්කම් තියෙනවා කියල වැටහෙන්න ගන්නවා. ඒක මිනිස් ගණුදෙනු ගැන මොඩල් දෙකක් වගේ නිසා මට හිතුනා ලියන්න.

අශාරි කටකාරයි.  කටට එන දේ  කියනවා.  ගොඩක් වෙලාවට මට හිතෙනවා එයා කෙළින් කතා කරනවා කියලත්.  ඒ නිසා අවංකකමකුත් තියෙනවා.  ඒ වගේ ම හිතා නොපලා කතා කරන නිසා ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ හිත රිද්දවනවා.  අශාරිට ළඟින් ඉන්න කෙනෙක් නිසා මගේ හිතත් අනන්තවත් රිද්දවන කතා අනන්තවත් එයාගෙන් කියවිලා තියෙනවා.  ඉතින් එයාව අවුල් විදියට මතක් කරවන තුවාල කැලැල්නම් අනන්තයි, කා අතරත් වගේ.  සමුද්‍රා ටිකක් තැන්පත්.  අහිංසක ම නොවුණත් වැඩි දඟකාරකමක් නැති චරිතයක්. එයාගේ ලෝකෙට වෙලා ගොඩක් වෙලාවට එයාගේ පාඩුවේ ඉන්නවා.  ඒ නිසා එයාගෙන් අනිත් අයට වෙන හිරිහැර අඩුයි වගේ තමයි දැනෙන්නේ.                  

දැන්, මම සම්බන්ධයෙනුත් එතකොට මේ දෙන්නා වැඩ කරන්නේ දෙවිදියකට.  අශාරිට මගේ හැම ඕපදූපයක් ම දැනගන්න ඕන.  ගෙදර ඉන්නේ කව්ද, යන්නේ එන්නේ කව්ද, අහල-පහළ කව්ද, ගෙදරට යන පාරේ බල්ලෝ කී දෙනෙක්ද, ගෙදර උයන්නේ-පිහන්නේ මොනවද.....හපොයි මේ හැම දේම ! ඒ විතරක් නොවෙයි.  එයාගේ ඇස්-කන්වලට අහු නොවී, අහල-පහළක ඉන්න කාටවත් ම වගේ ම මටත් මුකුත් ම කරන්න බෑ.  අඩු ම ගානේ කැන්ටිමට ගිහින්  තේ එකක් බොන්නවත්, අඵත් perfume එකක් ගන්නවත් ! එයාගේ මේ සීමාවක් නැති සොයාබැලීම් ඇත්තටම මට වුණත් මළ කරදරයක්.  ඉතින් ගණුදෙනු නවත්වලා දාන්න තරමට එයා ව එපා වෙනවා. (ඒත්,ඒකත් කරන්න බැරි එහෙම තීරණයක් ගත්තොත් මැරෙනකම් හේතු පැහැදිලි කරන්න වෙනවනේ ඒ ගැනත්; ඊට හොඳයි මේක ඉවසන් ඉන්න එකත් කියල හිතෙනවා) කොහොම වුණත් මේ නිසා අන්තිමට අශාරි මළ වාතයක්, ඇනයක් විදියට තමයි මටත් දැනෙන්නේ.  තියුණු අපහාසාත්මක වචන කියලා අනිත් කෙනාගේ හිත රිදවන්නත් ලොකු දක්ෂකමක් එයාට තියෙනවා කියල දන්න නිසා මම අශාරි ව ගොඩක් දුරට මඟ හරින්න try කරනවා.  එයා ළඟට එන බව දැණුනොත් මටත් කළින් මගේ හිත මාරු වෙන්න පුළුවන් වෙන තැනක් හොයා ගෙන පියාඹනවා.  ඒත් සමුද්‍රා මේකෙ අනිත් පැත්ත.  ඒ නිසා එයාගේ යාළුකම මට වාතයක් වුණේ නැහැ.  එයා පෞද්ගලික තොරතුරු හාරා ඇවිස්සුවෙත් නැහැ; හිත රිදවන දේවල් plan කළෙත් නෑ.  මේ නිසා සමහර විට සමුද්‍රා ළඟ ගත කරන කාලය හිතට අස්වැසිල්ලක් වගේ වුණා.  කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන සමුද්‍රා‍ගේ ඇසුර, අශාරිගේ ඇසුරට වඩා මාත් ප්‍රිය කළා.

ඒත් යාළුවනේ........... මේ ලෝකය හරිම පුදුමාකාරයි;  සම්බන්ධකම් ඊටත් වඩා පුදුමාකාරයි.  අනුන්ගේ ජීවිත අස්සට මහ අවිනීත විදියට කඩා පනින අශාරිගේ ගතිගුණවලට වඩා මම වුණත් ප්‍රිය කරපු සමුද්‍රාගේ උපේක්ෂාසහගත මිත්‍රත්වය යටින් තියෙන්නේ වෙන දෙයක් කියල මට දැනෙන්න ගත්තා.  මොකද ?  Ofc එකේදී වුණත්, ගෙදරදී වුණත් මම පොඩි හරි කරදරේක වැටුණු වෙලාවක තාමත් මට උදව්වට එන්නේ සමුද්‍රා නෙවෙයි, අශාරි.  කාටත් කරදරයක් නැතිව, තමන්ගේ පාඩුවේ ඉන්න සමුද්‍රා ඒ වගේ විපත්තිකර වෙලාවකත් සුපුරුදු මුණිවත ම රකිනවා.  කවදාවත් මගේ sms එකකට, cll එකකට reply නොකරන සමුද්‍රා එයාගේ උවමනාවක් ආවාම sms, clls දාන්නේ Highspeed X-press කෝච්චියක් පරදන ඉක්මනකින්.  මම ofc ආවේ නැති දවසක මගේ Phone screen එකේ තියෙන්නේ අශාරිගේ මිස සමුද්‍රාගේ විමසීමක් නෙවෙයි.  මේ හැම දේම stdy කරල බලපුවාම මට වැටහෙන්නේ කාටවත් හිරිහැරයක් නැති ජීවිතයක් සමුද්‍රා ගත කරන්නේ, එහෙම දැනුවත් තීරණයක් අරගෙන නෙවෙයි කියලා.  අනිත් කෙනාට, තමන් ළඟ ම ඉන්න කෙනෙකුට වුණත් මොන මඟුලක් වුණත් සමුද්‍රාට ඒක තමන්ට අදාල නැති දෙයක් හැටියට ඉන්න පුළුවන් නිසා.  සමුද්‍රාට අනිත් අයගෙන් ගන්න දෙයක් මිස අනිත් අයට දෙන්න කිසිම දෙයක් නැහැ.  අනිත් පැත්තෙන් අශාරිට තියෙන ප්‍රශ්නය, එයාගේ අභිමානය, අනන්‍යතාවය අනිත් අය ගොදුරු කර ගන්නේ නැතිව ගොඩදාගන්න බැහැ.  ඒ නිසා එයා අනිත් අයගේ ජීවිත අස්සට මොන විදියට හරි කඩා පැනලා, මොන විදියේ දෙයක් හරි කරනවා. 
අපි ජීවත් වෙන්නේ අඩු-වැඩි වශයෙන් මේ වගේ අයගෙන් සමන්විත සමාජයක.  අපි මතුපිටින්, සරල ව දකින විදියට වඩා ඇතුලෙන්, සංකීර්ණ විදියට බැලුවා  ම සමහර විට තත්වය හාත්පසින් ම වෙනස්.  ‘හොඳ‘ අපි හිතන තරම් ම හොඳත් නැහැ; ‘නරක‘ අපි හිතන තරම් ම නරකත් නැහැ.  මට ඔන්න ඔහොම හිතෙනවා.  යාළුවනේ, කොහොමද ඔයාලට මේ වගේ දේවල් දැනෙන්නේ........?        

Wednesday, July 8, 2015

තිත්ත හිවල්ලු සහ රසවත් මිදි

"අරකි අඳින හැටි ! ෂික් කිසි ලැජ්ජාවක් නැහැ" 
"මේ වගේ වැඩ කරන තැනකට ගැලපෙනවද ඔහොම අඳින්න ?"
"යන විදිය ! හිතන් ඉන්නේ හරි ලස්සනයි කියල වෙන්න ඇති"
"හැටි විතරක් ! කොන්ඩේ නික්ම කොටම කොට බලු නැට්ටක් වගේ"
"බුරිය පේන්න අඳින්න පිරිමි අල්ලගන්න වෙන්න ඇති"  

මේ ආකාරයට ඈ බොහෝ සේ විවේචනයට ලක් විය. 

එහෙත්, ඈ ලස්සන ය; හැඩකාරය. ඇගේ සිහින් සිරුර, පළල් වූ උකුළ, කෙටි කොණ්ඩය, තද කළු පැහැති ඇස්, රත් පැහැ දෙතොල්, තළෙලු වටනුරු මුහුණ කාගේත් සිත් වසඟයට පත් කළේ ය.  ඉහළ ධූරයක් දැරූ ඇය බොහෝ විට එහි රාජකාරී සඳහා සිය නිල කාමරයේ රැඳී සිටියා ය.  රාජකාරී අවශ්‍යතාවයකට හෝ ඉඳ හිට ඇය සිය නිල කුටියෙන් බැහැර වන මොහොතක් වෙනුවෙන් ඒ අවට ‘රාජකාරී‘වල යෙදුනු පිරිමි කෙළ හලමින් සිටියේ ගොදුරක් ඩැහැගැනීමට මාන බලන වෘක රැළක් සිහි ගන්වමිනි.  ඇගේ හුරුබුහුටි ලාලිත්‍යයට සැඟවුණ දඟකාරකමක්  ඈ සතු විය.  එම දඟකාරකමට කවුරුත් පාහේ ආශා කළේ ය.  නමුත් කිසිවෙක් එය සෘජු ව ප්‍රකාශ නොකළේ ය.  ඈ කතා කරන විට බොබ් කට් කැපූ ඇගේ කෙටි කොණ්ඩය දෙපසට වැනෙන්නේ ය.  කතා කරන විට ඉරියව් රැසකින් මුහුණ හැඟීම්බර විය.  අනෙකුත් ගැහැණුන් මෙන් නොව ඇය සාරිය ඇන්දේ අමුතු විලාසිතාවකට ය.  ඇඟට හිර වෙන්නට ඇඳි සාරිය ඇගේ නාරි දේහයේ අලංකාරය තවත් වැඩි කළේ ය.  නාභිය ද සමඟින් වැඩි කොටසක් නිරාවරණය වූ ඇගේ බඩ දෙස බොහෝ පිරිමින් බැලුවේ කෑදර හොරැහිනි; බොහෝ ගැහැණුන් මවා ගත් පිළිකුල් ඇසකිනි.

අත්පත් කර ගත නොහැකි වූ ෆැන්ටසිය කොයි කවුරුත් පීඩනයට පත් කළේ ය.  එය ප්‍රකාශයට පත් වූයේ ඉහත ආකාරයෙනි.  පිරිමි බලා සිටියේ තව මදකින් හෝ ඇගේ සිරුර නිරාවරණය කර ගැනීමේ අපේක්ෂා දල්වා ගෙන ය; එක මොහොතක් හෝ ඈට හැකිතාක් කිට්ටු වෙන්නට මාන බලාගෙන ය.  ඒ අතරේ ම ඒ ‘රසය‘ තමන්ගේ සමීපතම සඟයා හෝ භුක්ති විඳීම ගැනනම් එකෙක්වත් පක්ෂ නොවීය.  තමන් සතු විය යුතු මේ අවධානය හා ආකර්ෂණය, විවිධ හේතු මත තමන්ට කරන්නට නොහැකි ‘මායමකින්‘  තමන්ගෙන් උදුරා ගන්නා ඇය ගැහැණුන්ගේ වෛරයට පාත්‍ර විය.  ඇය සතු ඉහළ ධූරය නොවන්නට මේ කොයි කවුරුත් එකතු වී මේ වන විටත් ඇය චප්ප කර දමන්නට නියමිත ව තිබුණි. 

ඉතින් ඍජු ව පහර ගසන්නට බැරි තැන මෙන්න මෙවැනි දැ සිදු වෙන්නට නියමිත ය ! 

දවසක් දා උදේ පාන්දරින්ම ආයතනය පුරා පැතිර ගිය කට කතාවකි.

"දවල් කාලේ රස්සාව මේක වුණාට රෑට මෙයා කරන්නේ ගණිකා වෘත්තිය ! රෑට ගෙන්වගන්න පිරිමි සමහර විට පිටත් වෙන්නේ උදේ..."

ඇය පදිංචිව සිටියේ උසස් නිලධාරීන් සඳහා ආයතනයෙන් දී ඇති නිවාස සංකීර්ණයේ එක් නිවාසයක ය.  මේ කතාව ගෙන ආවේ ‘ඇසින් දුටු සාක්ෂිකරුවෙකු‘ ලෙස පෙනී සිටි, එම සංකීර්ණයේ ම පදිංචි තවත් උසස් නිලධාරියකු විසිනි.  අනෙකුත් සියළු ම රාජකාරී කටයුතුවලට නැති තරම් වේගයකින් ද, අති මහත් උනන්දුවකින් ද උස්-පහත් වෙනසකින් තොරව කාර්ය මණ්ඩලය විසින් මෙම පුවත බෙදා ගන්නා ලද්දේ අසුචි ගොඩක් වටා සැරිසරන නිල මැස්සන් රැළකගේ උද්‍යෝගයෙනි !  නිවසට ගෙන්වා ගන්නා පිරිමින් සමඟ රෑ එළි වෙන තුරු ඇය කාමමිත්‍යාචාරයේ යෙදෙන අයුරු ගැන ‘රසවත්‘ කතන්දර හැම කෙනෙක් ම පාහේ බෙදා-හදා ගත්හ.  කතන්දරය ගෙන ආ නිලධාරියා කලක් තිස්සේ ඇය සම්බන්ධයෙන් ‘ලව්ගින්නකින්‘ පිළිස්සෙමින් සිටි බව, ලැව්ගින්නක් සේ මෙය පතුරුවා හැරි අය අමතක කර දැමූ හ; ඒ නිලධාරියා පවා එසේ කොට තිබුණි.

පුවත පැතිර ගිය වේගය අනුව එදින ම ඇයට ද මේ ගැන දැනගන්නට ලැබුණි.  ඇය උරණ වූවා ය; වහාම පොලීසියට ගොස් ඊට එරෙහි ව පැමිණිල්ලක් සටහන් කළා ය. 
මෙතැනින් එහා සිද්ධිය ගැන ද මා දන්නේ කටකතාකරුවන්ගේ පිහිටෙන් ම ය.  උස්-පහත් භේදයකින් තොර ව ආයතනයේ සේවක-සේවිකාවෝ එම කටයුත්තේ අනලස් ව තවදුරටත් යෙදුනේ මෙවැනි අදහස් පළ කරමිනි.

"පොලීසි ගියා ලු නේ ! බැනල එළවා ගත්ත ලු ! ඇත්තටම පොලීසිවලට වෙන වැඩක් නැතිවද !"
"ප්‍රශ්නයක් තිබුණානනම් මේවා ආයතනය ඇතුළෙ ම විසඳා ගන්න තිබුණ නේ"
"අර මනුස්සයා කියන්න ඇත්තේ ඇත්ත වෙන්න ඇති.  විලි ලැජ්ජාවක් නැතිව ඕවා පොලීසිවලට පැමිණිලි කරන්න යනවද වැදගත් ගෑනියෙක්නම්"
"ඔය කර ගත්තේ ගිහින්. හොඳ වැඩේ. ඔය ගෑනිට ඔහොමමයි වෙන්න ඕන"

ඇත්තට ම සිදු වූයේ කුමක්දැයි මම නොදන්නෙමි.  ඒ වැනි දේවල ඇත්ත දැන ගැනීමට වඩා අපේ සමාජය තුළ ඇත්තේ අති දැවැන්ත ඕපාදූප තොරණකින් ඇස් නිලංකාර කරගැනීමේ ඉඩකි.  ඒ තවත් ප්‍රශ්නයකි. එය මෙහි දී සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරමි.  කටකතාවේ සඳහන් ‘චෝදනාවට‘ ඇයගේ සම්බන්ධය කුමක් වුව ද, එමගින් තමන්ට අත් වන අපහසුතාවය සම්බන්ධයෙන් ප්‍රතිකර්ම අපේක්ෂාවෙන් ගිය තැන යුක්තිය වෙනුවට ඉටු වන්නේ මෙවැනි ‘රාජකාරියක්‘ නම් ඒ තවත් කතාවකි.  එය ද මෙහි සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරමි.  මගේ කාර්යාලයීය සඟයන්- ලොක්කන්-සොක්කන්, පිරිමින්-ගැහැණුන් සියළු දෙනාගේ ම ප්‍රතිචාරය මා තුළනම් මතු කළේ මහත් පිළිකුලකි; කම්පනයකි.  ඒත් එක අතකට එසේ විය යුතු ද නැත.  මේ අතිශය සාමාන්‍යයයි.  ලංකා පොලෙවේ අතිශය සාමාන්‍ය යථාර්තය මෙයයි. එහෙත් එය ම කම්පාවට හේතුවක් විය නොයුතු ද ?

ඈ සමඟ යහන් ගත වීමට පෙරුම් පුරමින් බලා සිටි, එහෙත් ඒ පාරමිතා පාරාජිකා වූ කල ඒ දැඩිතර ආශාව, ඉරිසියාවක් හා වෛරයක් බවට පෙරලාගෙන ඇගෙන් පලිගන්නට මාන බැලූ පිරිමින් ද, ඇය නිසා අහිමි වන තමන්ගේ ‘තැන‘ ගැන දැඩි හීනමානයකින් පෙලුන ගැහැණුන්ද ඇය කෙරෙහි දැඩි වෛරයකින් දැන් පසු වන්නේ කුහකත්වයේ නිරුවත ප්‍රදර්ශනය කරවමිනි. 

ඊයේත්, අදත්, හෙටත් මේ සමාජය ඈට දැඩි ලෙස වෛර කරනු ඇත.  ඒ මේ සමාජය හැම අතින්ම අසමත්- ඒ අසමත්බව පිළිගන්නට පවා අසමත් සමාජයක් නිසා යයි මට දැනෙයි.  ඇතැම් විට ඒ අසමත්භාවයන් අපේ උන්දැලාට ‘මාර දේවල්‘ වේ. එ විට පිස්සු ෂෝක් ය !  අසමත්භාවයන් පිටාර ගලන්නේ වෛරී ප්‍රචණ්ඩත්වයකිනි.  මේ සමාජය අස්සේ ඒ ගොන් පාර්ට් එකත් මාර ‘පිරිමිකම‘කි !

ඉතින් මෙහි දී ‘මිදි‘ වැනි භාණ්ඩ බවට පත් කර ගත් ගැහැනුන් ‘රකින-‍කෙලසන‘ වගකීම් දරණ, මනුෂ්‍යයන් වෙනුවට හිවලුන් බවට පත් වුණ පිරිමින්ගෙන් යුත්,  'එය එසේ විය යුත්තක්' බව අදහන ගැහැණුන්ගෙන් ද යුත්, අඩු දියුණු ප්‍රාග්ධනයකින් මෙහෙයවෙන මේ වැනි සමාජයන් සමාන කළ හැක්කේ මිදි තිත්ත යැයි කියන හිවලුන්ගේ සමාජයකට නොවේ ද?                

Sunday, June 21, 2015

නිල් නෑ නරි !



Ofc එකේ අපේ brnch එකේ ඉන්න ඩබලක් ඇසුරෙන් මේ විස්තරේ කියන්න යන්නේ.  මේ ඩබලත් සුපුරුදු පරිදි Ofc එකේ ලොක්කෝ රොත්තේ සාමාජිකයෝ තමයි.  ඉතින් හැම ලොක්කම ලොක්කෙකු වීම සඳහා එක සොක්කෙක් හරි හොයා ගන්න එපැයි.  මෙයාල ඇවිල්ල කළමනාකාර සහකාරවරු කියලා මෑතකදී නම වෙනස් කරපු cleark කට්ටෝ දෙනනෙක්; ඒ කියන්නේ ලිපිකරුවෝ දෙන්නෙක්.  එහෙම අයත් ගොඩක් ඉන්නවා.  ඒ නිසා මේ කියන්න යන්නේ ලිපිකරුවන් මඩ ගහන්න හරි අපහසුවට පත් කරන්න හරි දෙයක් නොවෙයි.  ඒත් මම කියන්න යන කථාවට මේ ඩබල හොඳම models දෙකක්.  ඉතින් එයාල නොදැන නමුත් කරපු මේ උදව්වට tnkz කරලා මම කතාව පටන් ගන්නම් කෝ.මේ ඩබලේ එක ලොකු විශේෂත්වයක් තමයි තමන් දරණ තනතුර ගැන නොසෑහෙන්න උනන්දුවකින්, උත්තේජනයකින් කටයුතු කිරීම.  ඒක ඉතින් හොඳ දෙයක් නේ. ඒත්, මෙතැන ප්‍රශ්නයක් තියෙනවා.  මේ ඩබල ඒ තත්වය ලබාගන්න try කරන්නේ තමන්ට වඩා පහළ ශ්‍රේණිවල ඉන්න මිනිස්සුන්ට පහත් විදියට සැළකීමෙන්.  එයාල පියන්ලට, සුළු සේවකයන්ට පාට් දාන්න හරි කැමැත්තක් දක්වනවා.  ඒක එයාලට අනූව මාර ‍ජොලියක්; මාර fun  එකක්.  තමන් විසින් ම තමන්ට හොඳටම කරගන්න පුළුවන් වැඩ පවා එයාල පියන්ලටම පවරනවා.  එයාලගේම ශ්‍රේණිවල, සමහර විට ඊට වඩා ලොකු තැන්වල උදවියත් ඒවා තනියම කරගන්න උත්සාහ කරගනිද්දී පියන්ල ලවාම ඒවා කරගන්න මෙයාල දඟලන දැඟලිල්ල දැක්කාම පව් කියලත් හිතෙනවා.  වැඩේ බාර දෙන්නෙත් පියන්ට ළඟට අඬගහලා.  ළඟටම ගිහින් දුන්නොත්, තමනුත් පියන්ලගේ ගානටම වැටේවි කියල මේ ඩබලම බයයි.  මේ ෆොටෝකොපි ගහල දෙන්න, මේ file ටික අරන් යන්න, අරක මෙහාට ගේන්න, මේක මෙහාට කරන්න, අරක දෙන්න අරයට, අර form එක ගන්න , වැඩක් කීවම එක පාර කරන්න,...................... !!!
අයියෝ ! ඉතින් මේ ඩබල ම ආපු දවසට කිසිම නිදහසක් නෑ අර මිනිස්සු දෙන්නට.  හැම දේම විධාන ක්‍රියා විතරයි.  මම හැම තිස්සෙම කල්පනා කරන්නේ පියන්ලට වධ දෙන්නේ නැතිව ඒ වගේ පොඩි පොඩි වැඩ ටික තමුන්ම කරගත්තම, තමන්ගේ මොකක්ද එකකට ඒක කැළලක් වෙනවා කියලා හිතන්නේ ඇයි ? අනික අණකිරීම් වෙනුවට හොඳින් කතා කරන්නවත් බැරි ඇයි මේ ඩබලට ? 
නිල්පාට තීන්ත බාල්දියක් ඔළුවේ හැලුනු නරියෙක් ගැන ජනකතාවක් මතක් වුණා.  මේ කතාවේ හැටියට අමුතු ම සතෙක් වෙන නරියා අනිත් සතුන් විසින් රජකමට පත් කරගන්නවා.  ඒත් තමන් නරියෙක් බව හැමතිස්සෙම නරියගේ හිතේ තියෙන්න ඇති.  මම හිතුවේ තමන්ගේ අළුත් රූපකාය ආරක්ෂා කරගැනීම ගැන ඌ මොනතරම් බයකින් ඉන්න ඇතිද කියලා.  මේ අමුතු හැසිරීමට අදාල ව අර ඩබලගේ ඓතිහාසික වංශ කතාව පිරික්සා බලපු මට මේ නරිවස්තුව උදව් වුණා ඒක තේරුම් ගන්න.මේ අය ගැන දැන ගෙන හිටපු කීපදෙනක් හරහා මට ලැබුණ විස්තරවලින් කියවුණේ මෙහෙම කතාවක්; මේ ඩබලගෙන් එක්කෙනෙක් මේ ආයතනයට එන්න කලින් රජයේ වෙන ආයතනයක පියන් කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා.  අවුරුදු පහක් මාර කට්ටක් කාලා තමයි දැන් මේ ඉන්න තනතුරට යන්තම් set වෙලා තියෙන්නේ.  අනිත් එක්කෙනා මේ ආයතනයේ ම අවුරුදු ගානක් තිස්සේ කම්කරුවෙක් හැටියට වැඩ කරපු කෙනෙක්.  අවුරුදු ගණනක් ම අස්-පස් කර කර, බර වැඩ කර කර, අත් උදව් දෙමින් ලොකු කට්ටක් කාලා තමයි මේ තනතුරට යන්තම් set වෙලා තියෙන්නේ.  මලක් වෙන්නනම් කටු පොකුරු සිපගන්නම ඕන, රත්න ශ්‍රී කීවා වගේ.  කඳුළු අතරින් මතු වෙන සිනහව ලස්සනයි.  මාත් මේක ඉහළින් ම අගය කරනවා.  ඒත්, එයාල හිටපු තැන්, එයාලා හිතන් ඉන්න තරම් පහත් නෑ; දැන් ලබල තියෙන-ඉස්සරහට ලබාගන්න ඉන්න තනතුරු හිතන් ඉන්න තරම් උසස් වෙන්නෙත් නෑ.  .තනතුරු. කියන්නේ උස්-පහත්භාවය හොයාගන්න තියෙන මිණුම්දන්ඩක් නෙවෙයි.  මෙන්න මේක තේරුම් නොගන්න එක තමයි මට එයාල ගැන තියෙන ප්‍රශ්නය. 
නිල-බල ක්‍රමයක් ඇතුළේ තනතුරක් කියන්නේ නිශ්චිත කාර්යභාරයක්;වගකීමක්.  ඒවා ඉටු කරන්න තමයි බලතල හා වරප්‍රසාද පැවරෙන්නේ.  ඒත් දැන් අර අපේ ඩබල වගේ අයට මේක ඇඟ පුරා හැලුන සායම් බාල්දියක් ! එයාලගේ කළින් තත්වය එළිදරව් වෙලා, සායම කොයි වෙලාවේ යාවිද කියල බයයි;සැකයි.  මේ නිසා ඇඟේ හැලුන සායම පරිස්සම් කරගන්න ඒ ගැන මාර serious හිතකින් තමයි මුළු දවසම ගත කරන්නේ !
ඉතින්, ලබාගන්න තනතුර හරහා මෙයාල කරන්නේ තමන් එදා විඳපු දුක, පීඩනය එදා තමන් වගේම අද ඉන්න අහිංසකයෙක් මතින් පිටකිරීමයි; ඔවන් ව පීඩාවට පත්කිරීමයි;  තමන් හිටපු පංතියේ ම මිනිසුන් ව පීඩාවට පත්කරමින්, තලමින්, තමන් ලබාගන්න දඟලන වරප්‍රසාදය මොකක්ද ?  කැපී පෙනෙන්න යන්නේ මොනවා දිනාගන්නද ? මේ අය ඇත්තට ම පළිගන්නවානම් ගතයුත්තේ කාගෙන්ද ?  තමන් ව එදා පීඩාවට පත් කළ උදවියගෙන් නොවෙයිද ?  එදා වරප්‍රසාද හිමි පැළැන්තිය ඔවුන්ගේ අයිතීන් උදුරගන්න ඇති; ගරුත්වය තලා දමන්න ඇති; රිදවන්න ඇති.  ඒකේ කිසිම සැකයක් නෑ.  ඉතින් දැන් ඒවාට උත්තර දෙන්නත් ඔවුන්ට අවස්ථාවක් ලැබිල තියෙනවා.  එදා තමන් විඳපු දුක, අද වෙනත් අහිංසකයෙකුට විඳින්න ඉඩ නොදීමයි ඔවුන් කළ යුතුව ඇත්තේ.  වඩා උසස් තත්වයකට ඔවුන් පත් වන්නේ අන්න එතකොටයි.  ඒත් සිදු වෙමින් තියෙන්නේ මේකේ අනිත් පැත්ත. මේක පට්ට ඛේදවාචකයක් ! 

දියුණු ධනපති ක්‍රමයකින් ආපු සුද්දෝ ලංකාවේ නිල-බල ක්‍රමයක් හැදුවට ඒවාට පත් වෙන්න සුදුසු පිරිසක් හැදුවේ නෑ.  ඉතින් ඒ තැන්වලට අදටත් පත් වෙන්නේ තඩි වැඩවසම් ඔළුගෙඩිකාර රජවරු !  ඉතින් හැමදාමත් අපි ආපස්සටමයි යන්නේ.  මේක වෙනස් කරගන්නේ කොහොමද කියලා ටිකක් හිතල බලමුද යාළුවනේ.....?

Wednesday, June 10, 2015

එකෝමත් එක පංතියක කතාවක්

ඉස්කෝලේ කාලේ යාළුකම් හරිම සුන්දර අත්දැකීමක් වෙන්න ඇති ඔයාලටත්.
පුංචි කාලේ ඉඳලා මාත් එක්කත් එකට හිටපු යහළුවෝ පස්දෙනෙක් හිටියා.  සිංදු කිව්වේ, කෑවේ-බිව්වේ, රණ්ඩු වුණේ,  සෙල්ලම් කළේ එකට.  මොන දේ කළත් එකට ඉන්න තරම් ලොකු fit එකක් තිබුණා.  තරහ වුණත් සැණෙකින් වැරදි වටහා ගෙන ආයෙත් හිටියටත් වඩා හොඳින් ඉන්න පුළුවන් මාර යාළුකමක් තිබුණා.  ටික ටික ලොකු වෙද්දී පංති කැඩුණා.  අපි එකිනෙකා අළුත් අළුත් පංතිවලට වැටුණා.  සමිපකමේ පොඩි දුරස්ථභාවයක් තිබුණට යාළුකම එහෙමම තිබුණා.  අපි හිනා වුණා; විහිළු කළා; පංති ගියා එකට.  හරිම ලෙංගතුයි.  අපි තවත් ලොකු වුණා .  එකිනෙකාගෙන් තීරණාත්මක ලෙස වෙන් ‍වෙන්න අපිට සිදු වුණා.  A/L වලින් පස්සේ අපි තව තවත් දුරස් වුණා.  msgs, Calls ටික ටික අඩු වුණා.  අපි කට්ටියටම එහෙම වුණා.  අපි පාසල් සමයේ මවන් හිටපු සුරංගනා ලෝක නැති වෙලා අපිට ඇත්ත ලෝකය මුණ ගැහුණා.  දෙමව්පියන්ගෙන් යැපෙන්න පුරුදු වුන අපිට ජීවන බර දැනෙන්න ගත්තා. ඒක නිසාම රස්සාවල් කරන්න වුණා.  ලොකු වුණා ම මෙහෙම කෙනෙක් වෙනවා, අරහෙම කෙනෙක් වෙනවා කියලා අපි දැකපු හීන අපි කථා වුණා. දැන් අපි ඇත්තටම ලොකු වෙලා.  ඇත්ත ලෝකය, අපේ සුරංගනා ලෝකවලට ඉඩ දුන්නේ නෑ, ගොඩාක් වෙලාවට.  අපි බලාපොරොත්තු වුණේ එකක්; අපිට කරන්න වුණේ තව එකක්.  අපේ යාළුවෝ කට්ටිය එතකොටත් පාරතොටේ, බස් හෝල්ට් එකේ, බස් එකේ ඉඳහිට හරි හමු වුණා.  ඒත් අපි හිනා වුණා; කථා කරා. 
තවත් කල් ගත වුණා.  මට රජයේ සේවයේ අතවැසියෙක් වෙන්න වුණා.  මාත් එක්ක හිටපු තවත් යාළුවෙකුත් ඒ රස්සාවටම පැන ගත්තා.  අපේ යාළුවෝ සෙට් එකේ එක්කෙනෙකුට තාත්තා job කරන්න දෙන්නේ නෑ ලු; ඉතින් එයා ගෙදරට වෙලා ඔහේ කල්මරමින් ඉන්නවා.  තව කෙනෙක් එක එක පොඩි පොඩි රස්සාවල් කරමින් ඉන්නවා.  අපි අතරින් එකම එක්කෙනෙකුට විතරක් එයාගේ සිහිනය රස්සාවක් විදියට හමු වුණා.  එයා කැමති වුණේ Air Hostess කෙනෙක් වෙන්න.  එයාගේ ඇඟත් ඒකට හොඳට ගැලපුණා.  ඉතින් අපි අපේ සිහිනවලට තවමත් ට්‍රයි කරද්දී එයාට එයාගේ සිහිණය සැබෑ කරගන්න පුළුවන් වුණා.  ඉතින් එයා Air Hostess කෙනෙක් වුණා කීවම මටත් ලොකු සතුටක් දැණුනා.  ඒත් එයාට විෂ් කරන්නවත් මට බැරි වුණා.  මේ සුබ ආරංචිය එයා ම  කීවානම් මම ඒ වෙලේ ම විෂ් කරනවා අනිවාර්යයෙන්; මට ඒක කරන්න ඕනකම තිබුණා. මේ හිත හදා ගන්න කියනවා නොවෙයි; මට එයාගෙන් ම නැතිව වෙන වෙන අයගෙන් මේ ආරංචිය ආවාම විෂ් කරන්න ඕන කියල හිතලා, වැඩේ කල්යනවා. මතක් වෙන වෙලාවේ මොනවා හරි අඩුවක්. මගෙත් වැරැද්ද තමයි.  කොහොම හරි ඉතින් ඒකත් කරගන්න බැරි වෙලා ගියා. 
මේ ළඟදී දවසක එයාගේ තාත්තා accident එකකින් නැති වුණා.  මාත් එක්ක වැඩ කරන අනිත් යාළුවා මට ඒ ආරංචිය ගෙනාවේ.  ඒ තාත්තාව මම දන්නෙවත් නෑ. ඒත් ඒ අපේ පරණ හොඳම යාළුවෝ සෙට් එකේ එක්කෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ඉතින් පහුවෙනිදා මම අම්මත් එක්ක ගියා මළගෙදරට.  ඇත්තටම ඒ මගේ යාළුවා වෙනුවෙන්මයි.  අවුරුදු ගණනකට පස්සේ මම මගේ යාළුවා දැක්කේ.  එයා ගොඩක් සුදු වෙලා; ලස්සන වෙලා.  ඒ වෙලාවේ මට ලොකු සතුටක් දැණුනා. මට ඕන වුණා කතා කරන්න.  ඒත් එයා අපිව දැකලා එන්නං කියා ගෙන එතනින් ගියා.  ඒ අතරෙම එයාගේ ඔෆීස් එකේ කියන්න පුළුවන් තව කට්ටියක් ආවා.  එයා ගියේ ඒ අය ළඟට.  මම අම්මත් එක්ක එහා පැත්තට වෙලා ඉඳ ගෙන බලා හිටියා.  එක වචනයක්වත් කතා කරන්න මගේ යාළුවා මම ළඟටත් ඒවිද කොයි වෙලාවේ හරි...?  ඇයි දෙයියනේ අපි ආවේ එයා වෙනුවෙන් කියලා එයාට තේරෙන්නේ නැද්ද ?  නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැද්ද ?  නැත්නම් වෙන මොකක් හරි තරහක්වත්ද ?  පස්සේ මට තේරුණේ එයාගේ අළුත් ofc යාළුවෝ ඉන්දැද්දී අපි එක්ක කතා කරන එක එයාට මදිකමක් වගේ දැනෙන්ත් ඇති කියලා.  එකිනෙකා හඳුන්වා දෙන වෙලාවකදීවත්, එයාට මාව මතක් වුණේ ම නෑ.  මාව විතරක් නොවෙයි; ඒ වෙද්දීත් බඩ බැඳ ගෙන වගේ මළගෙදර පදිංචි වෙලා හිටපු මගේ අනිත් යාළුවාවත්.....  මේ අර අල්ලන සෙල්ලම් කරපු මගේ යාළුවාමද ?  Teachersලට හොරෙන් දිවුල් අච්චාරු කාපු යාළුවාමද ?  ගණන් ඉගෙන ගන්න එකට පංති ගිය යාළුවාමද ?  මට අදහා ගන්න බෑ.  මට දුකකුත් දැණුනා; ලැජ්ජත් හිතුනා.  අම්මට මොනවා කියන්නද ?  අපි නැගිට්ටා.  එයා ළඟට ගියා. අපි යනවා කීවා.  අම්මත් කීවා යන්නම් දුව කියලා. “Thnkz Aunty” එච්චරමයි එයා කීවේ; ඒකත් අම්මට විතරයි. 
මට ගොඩාක් දුකයි.  ඒත් එයා ඒ විදියට වෙනස් වෙලා කියලා හිතන්න ඊටත් වඩා දුකයි. නෑ; ඒක එහෙම වෙන්න බෑ.  මගේ හිත සංරක්ෂණ ප්‍රයෝග හොයා ගෙන ගියා. එයාට තාත්තාගේ මරණය නිසා ගොඩක් දුක ඇති.  ඒ නිසා කතා කරගන්න බැරිව ඇති.  ඒත්, එතකොට අනිත් අයත් එක්ක කතා කළේ ?  මොළේ, හිතට යුද්ධ ප්‍රකාශ කරනවා.  මට උත්තර නෑ.  අවසන් කටයුතු දවසේ යම්දෝ- නොයම්දෝ කියලා හිත හිතා ඉන්න කොට තවත් යාළුවෙක් තනියම යන්න බෑ කිය කියා වැළපුනා. ඒත් මට ඒ තරම් හිතක් නෑ යන්න. අන්තිමට එයා එහෙම වෙනස් වෙලා නෑ කියලා හිත මට ඒත්තු ගන්වන්න try කරද්දී මම එකඟ වුණා, එයත් එක්ක අවසන් දවසෙත් යන්න.
ඔන්න ඉතින් අන්තිමට මම ගියා.  ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ මම ගෙදරටත් ගියා.  ඒ, එයා එක්ක කතා කරන්න ඕන නිසා වචන කීපයක්වත්.  මම ගියා එයා ළඟට.  එයා යද්දී, මම එයාගේ අතින් අල්ලලා කතා කළා.  අත අහකට අරගෙන යන්නම් කියා ගෙන එයා එදත් තරප්පු පෙළ නැඟල අළුත් යාළුවන් අතරට ගියා.  මට දැණුනේ මම ළඟ හෙනයක් පිපිරුවා වගේ.
ඔව්; එයා වෙනස් වෙලා. එයාගේ මුහුණ, ඇඳුම්-පැළඳුම් විතරක් නොවෙයි; එයා හිතන-පතන විදියත් ගොඩාක් වෙනස් වෙලා.  ඉස්කෝලේ කාලේ අපි හිටියේ එකම පංතියක තමයි. ඒත් දැන් අපි වෙනස් පංතිවල. මම ඉස්සරහ පුපුරපු හෙනයේ එළියෙන් මට මේ දේවල් පේන්න ගත්තා.

Saturday, June 6, 2015

මගේ ප්‍රයිමරි ගුරුවරු සෙට් එක සහ තවත් අය

           
චූටි කාලේ ඉඳලම අපි ගොඩාක් මුණ ගැහුණ, ජීවිතයට ගොඩක් සම්බන්ධ, ගොඩක් බලපෑම් කරපු පිරිසක් නේ ගුරුවරු කියන්නේ.  මගේ ජීවිතයට වගේ ම ඔයාලගේ ජීවිතවලටත් මේ ගුරුවරු සෙට් එකෙන් ලොකු බලපෑමක් වෙන්න ඇති නේද ?  කැමතිම ගුරුවරු වගේ ම පෙන්නන්න බැරි අකමැති ම ගුරුවරු සෙට් එකකුත් ඇති නේ ඔය කාගේ කාගේත් ජිවිතවලට හම්බ වෙලා....අනේ මන්දා......ගුරුවරු මාරයි ; ශ්‍රේෂ්ටයි කීවට මගේ ජීවිතයටනම් මට හමු වෙලා තියෙන ගුරු සෙට් එකෙන් බහුතරයක්ම මාර අප්සෙට් කට්ටියක්.  මමනම්, අවුරුදු දහතුනටම ආශාවෙන් ස්කූල් ගියේ අන්තිම අවුරුදු දෙකේ තමයි.  මොකද, එතකොට ගුරුවරුත් අඩුයි; විෂයනුත් අඩුයි; යාළුවොනම් වැඩියි.  ප්‍රධනම එක තමයි දෙයියනේ කියලා අවසාන අවුරුද්දේ හොඳ ගුරුවරු සෙට් එකක් ලැබුණා.  ඒ ලෙවල්වල හොඳම පැමිණීමකුත් මට තිබුණා.  අනිත් හැම අවුරුද්දෙම සතියට දවස් දෙක-තුනක්ම කට් කරලා හොඳ වාර්තාවක් මම තියලා තිබ්බා, කාටවත් සෙකන්ඩ් නොවෙන්න ! 
හරි ; කොහොම හරි අපේ ස්කූල් එකේ ලොකු ටිචර්ස්ලා සෙට් එකක් හිටියා.  එක වසර පංතිය ගැනත් මට යන්තමට වගේ මතකයි.  පංති භාර ටිචර් ගැන කියනවානම්, එයා මාර හොඳ වගේ දැණුනා අපි පංතියට ආ මුල් දවසේ.  හරි ආදරෙන් තමයි කතා කරලා අපිව පිළිගත්තේ.  ඒත් ටික දවසත් එහෙම යන කොට එයා ළමයින්ටත් වඩා ළමයින්ගේ දෙමාපියන්ට ගොඩාක් ආදරෙයි කියලා දැණෙන්න ගත්තා.  ළමයින්ගේ අම්මටයි, තාත්තටයි ගොඩාාාක් සල්ලි තියෙනවනම්, එයා ඒ ළමයටත් ගොඩාාාාක් ආදරෙයි...! අම්මෝ ඉතින් ඒ තෝරා බේරා ගන්න ළමයින්ව හරියට හුරතල් කෙරුවා.  එයාගේ හුරතලේ සීමාවක් නෑ.  අපි වගේ අසරණයින්ට ඉතින් හුළං තමයි !
අපේ දෙක වසරේ ටීචර්ගේ විශේෂත්වය තමයි, ඇඳුම්-පැළඳුම් ලස්සනට-සුදට -පිරිසුදුවට තියෙන ළමයින්ට එයා හරි ආදරෙයි.  හොඳ සැළකිල්ලක් දක්වනවා.  අපි පුංචි වුණත් ඒක හොඳටම තේරුණා. 
තුන වසරේ ටිචර්ව මතක් වෙන කොටත්, හුස්ම හිරවෙනවා.  එයාගේ නපුරු මූණ මකත් වෙන කොටත්, බය හිතෙනවා.  එයා හිතන්නේ ළමයින්ට අල්ලගෙන හොඳටම තැළුවාම ළමයින්ගේ බුද්ධිය පහළ වෙනවා කියලා. 
හතර වසර කෙනානම් හරි හොඳයි.  ඇත්තටම එයා ළමයින්ට ආදරෙයි.  ඒත් එයා හරිම අපිරිසිදුයි; අපිළිවෙලයි.  ඒකයි එයාගේ ලොකුම අඩුපාඩුව.
පහ වසර කෙනානම් සම්පූර්ණයෙන් ම පංතිය කොටස් දෙකකට බෙදල තිබුණේ.  එයා හැම තිස්සෙම උගන්වන්නේ දක්ෂයන්ට ම විතරයි.  අනෙක් කොටස ගැන එහෙමම අමතක වෙලා එයාට.  ඒ මදිවට ළමයින්ව හරියට කොන් කළා.  සමහර සිද්ධි ගැන මතක් වෙන කොටත් දුකයි. 
ප්‍රයිමරියෙන් එහාටත් ලොකු වෙනසක් වුණේ නෑ. 
අපේ හය වසර පංති භාර ටීචර්නම් මගේ නමවත් දැන ගෙන හිටියේ නෑ.  මං වගේ ළමයෙක් ඉන්නව කියලවත් එයා දැන ගෙන හිටියේ නැහැ, මට දැනිච්ච විදියටනම්.

ඔය වගේ එතැනින් එහාට ලැබුනු ගුරුවරුත් තනිකර පක්ෂපාතීත්වය, පිළිවෙල, ආර්ථික මට්ටම්, පෞද්ගලික හිතවත්කම්, අඳුම්-පැළඳුම්, දක්ෂ-අදක්ෂබව මත තමයි ළමයින්ට ආදරේ වෙන්න, උගන්වන්න තෝරගන්නේ.  හොඳ ගුරුවරු ඇති.  ඒ අතරිනුත් සමහරු ඒ කාලේ එහෙම තෝරගත්ත ළමයින් විසින් ප්‍රතිඋපකාරයක් හැටියට හොඳයි කියලා තෝරගත්ත අයත් ඇති.  මගේ පාසල් ජීවිතයෙන්නම් හොඳයි කියල දහයක් තෝරගන්න හරි අමාරුයි ගුරුවරු.  ඒත් දාන-පිංකම්, සිල් සමාදන්, බෝධි පූජාවලින්නම් අඩුවක් නෑ.  ඒත් ශිෂ්‍යයෙක් තේරුම් අරගෙන උගන්වන්න තරම්නම් මොළයක් නැති පිරිසක් තමයි බහුතරයක් ගුරුවරු.  ඒත් තව දෙයක් ති‍යෙනවා; අතේ ඇඟිලි ඔක්කොම එක සමාන නෑ වගේ මේක සියළුම ගුරුවරුන්ට පොදු කාරණයක් නොවෙයි.  ඒත්, ඔයාලත් ටිකක් හිතල බලන්නකෝ.....             

Sunday, May 24, 2015

ඔන්න පොසොනුත් එනවා....


         
මොනවද මොනවද ලියන්නේ කියල කල්පනා කරන කොට මුළින්ම හා හා පුරා කියල මට කල්පනාවට ආවේ පහු ගිය කාලේ වෙසකුත් තිබුණ නිසා අපේ බෞද්ධකම ගැන මගේ අත්දැකීම් ටිකක් ලියන්න ඕන කියලා.  වෙසකුත් පහුගිය කාලේ තිබුණා; ඔන්න දැන් ඊළඟට පොසොනුත් එනවා.  වෙසක් එකට කූඩු එහෙම එල්ලලා, දන්සැල් කාලා පොඩි fun එකකුත්අරන් ඇති අපේ කට්ටිය ? ඊළඟට පොසොන් එකට අනුරාධපුරේ පැත්තෙත් යන්න හිතාගෙනත් ඇති සමහරු.  දැන් ඉතින් මේ දවස්වල බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඉපිලිලා ඇති නේද කට්ටිය ? හරි; කමක් නෑ. ඔය ඔක්කොම දේවල් කරගන්නකෝ කට්ටිය.  ජීවිතයේ ඒකාකාරී බවෙත් වෙනසක් තියෙන්න එපාය නේද ?
අපේ ගෙවල්වල කට්ටියත් හරි හරියට වැඩ, පහුගිය කාලේ ඉඳලම.  හැබැයි, මම අතගැහුවොත් කූඩුවක් හරි අලවන්න, ඔක්කොම වර්චස් වෙනවා කියන දැඩි විශ්වාසය නිසා කට්ටිය මට අඬගහන්නේ නෑ.  ඉතින් මාත් බලන් ඉඳලා පොඩි fun එකක් ගත්තට, ඕවට වැඩිය අතගහන්නනම් යන්නේ නෑ.  හරි හරි; ඕවා එක්කොම පැත්තකින් තියමු. මේ දැන් කතාකරන්න ආපු කාරණාව කෙළින්ම කියන්නම්කෝ ඔයාලට.
ඇත්තටම මේ ඔක්කොම සැරසිලි-විච්චූර්ණ අස්සේ මට තදින්ම දැණෙන දෙයක් තමයි, මේ ඔක්කොම පට්ට බොරුවක් නේද කියන එක.  පුංචි කාලේ මේවා දැකලා ලොකු ආශ්වාදයක් ගත්තට දැන්නම් පට්ට කේන්තියකුත් මේ සැරසිලි අස්සෙම මතු වෙනවා.  ඇත්තටම ගෞතම බුදුන් වදාල ධර්මයද මේ මිනිස්සු කරන්නේ-ඒ විදියටමද ජීවත් වෙන්නේ කියල හිතන කොට දැනෙන පිළිකුල විස්තර කරන්න වචන නැති තරම් !
බුදුන්වහන්සේ ආමිස පූජාවන් හඳුන්වා දුන්නෙ පරිපූර්ණ පුජාවක් හැටියට නොවෙයි නේද ? ඒක ප්‍රතිපත්ති පූජාව කරා ගෙන එන මාර්ගයක් විතරයි. දැන් බැලූ බැල්මටනම් වැඩි හරියක් කෙරෙන්නේ ප්‍රතිපත්ති පූජා වගෙයි පෙනෙන්නෙ. ඒත්..........ඇත්ත මොකක්ද ? අපේ උන්නැහේලා ප්‍රතිපත්තිත්, ආමිස ම කරලා ! මේ නාඩගමේ ලොකුම කොටස කරන්නේ දන්සැල්වලින්.  ඇත්තම කියනවානම් වෙසක්වල ෆැෂන් එකක් වෙලා දැන් මේ දන්සැල්. 
ඔන්න පහු ගිය දවස්වල අපේ පැත්තේ අයියල කට්ටියක් ඇවිත්, දන්සැලක් දෙනව කියල සල්ලි එකතුකරන්න.  මං අඳුනන ඇන්ටි කෙනෙක්ගේ ගෙදරටත් ගිහින් මේ කට්ටිය. කොහොම හරි අපේ ඇන්ටි සල්ලි කීයක්ද මන්ද දීලත් තියෙනවා.  මේ ආපු කට්ටිය ඒ ඇන්ටිට බැනලයි ගිහින් තියෙන්නේ, දිපු සල්ලි ගාණ මදි කියලා.  ඔන්න, අපේ කට්ටියගේ බුද්ධාලම්භන ප්‍රීතියේ තරම ඉතින් !
තවත් කට්ටියක් දන්සැලකට කියලා ආධාර එකතු කරනවා කප්පරක්. පැයකින් දන්සැල ඉවරයි. ඉතිරි සල්ලිවලින් ඕන් ජෝගි දාලා පිස්සු කෙළින හැටි දැක්කාම.................................
ගිය අවුරුද්දේ වෙසක් සිරි නරඹන්න කියල යද්දී, බඩගින්නකට කියලා බත් දන්සැළකට ගියා.  ඔන්න ඉතින් ඒ යන කොටත් ඒක open කරල නෑ ලු නේ.  අයියෝ පෝලිමේ ඉන්න මිනිස්සු ඇතුලට යන්න පොර කන හැටි දැක්කා ම ලැජ්ජත් හිතෙනවා.  ඔන්න ඉතින් ඔය අතරේ අහිංසක-අසරණ මනුස්සයෙක්.  ඒ මනුස්සයානම් ඇත්තටම බඩගින්නෙන් වගේ තමයි පෙනුනේ.  දන්සැලට ඇතුල් වෙන්න ගියා කියලා එතැන හිටලු සංවිධායක- හොඳ සිල්වත් මහත්වරු ඒඅසරණයාට බැනලා එළවා ගත්තා, අර ලොකු බඩගෙඩියක් තියෙන ඇමතියා ඇවිත් නැති නිසා. ඇත්තමයි; කණ පැළෙන්න තරම් අර උපාසක හැත්තට දෙන්න හිතුන තරම්, ඒ වෙලාවේ !  ඇත්තටම අර ඇමතියා ඒ වෙලාව වෙන කොටත් එතැනට එන්නේ 5star හෝටලයකින් හොඳට කොටා බාලා බවත් උන් හොඳටම දන්නවත් ඇති.කොහොම කොහොම හරි වෙසක්-පොසොන් දන්සැල් බහුතරයක කෙරුවාව මේක තමයි.  අයියෝ... මුං මේ විකෘති කරගෙන දඟලන්නේ තමන් අදහනවාය කියන බුදුන් වහන්සේගේ ධර්මය නේද ? නැති උන් බඩගින්නේ ඉන්දෙද්දී, තියෙන උන්ගෙම බඩ පුරවන දන්සැල් ! අනික, එක දවසකින්- දෙකකින් කරන නාස්තියක තරමක් !
අපේ clz එකේ මුදලාලි හෙවත් Principle මේ පාර yoghurt දන්සැලක් දෙනවා කියලා clz එකේ ළමයින්ගෙන් ආධාර collection දැම්මා, වෙසක් එකට.  ඒත් ළමයින්ගේ clz feez  එකනම් අවුරුද්දෙන් අවුරුද්ද, ගාණට-ලස්සනට වැඩි කිරීම මේ පාරත් ඔය ෂෝක් එකට කරල තියෙන්නේ. 
හරි හරි ! මට ලැබුණ පුංචි පුංචි අද්දැකීම් ටිකක් තමයි බෙදා ගත්තේ.  ඒත් මේවා සමහර අයටනම් කොහොම බලපායිද දන්නේ නෑ.  මොනා කරන්නද ?  මට දැණෙන දේ ඔන්න මම බෙදා ගන්නවා.  ඒවා භාරගන්න විදිය ඔයාලගේ වැඩක්.  තවත් ලිව්වොත් එපා වෙන නිසා ඔන්න මම නවතිනවා.  හිතල-බලල මොනව හරි කරන්න බලමුකෝ ඉතින්.